Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.2. රසායනික සමීකරණ 1 වන පිටුව (7)

වචනවලට වඩා සංකේත වටින්නේ ඇයි?

මෙතෙක් අප ප්‍රතික්‍රියා ලියා ඇත්තේ වචනවලින් ය. එහෙත් යම් රසායනික ප්‍රතික්‍රියාවක් ලිවීමට වචන භාවිත කළ විට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වේ.

වචනවලින් ලියූ විට

සංයෝගය සමන්විත වන මූලද්‍රව්‍ය පරමාණු අතර අනුපාතය නිරූපණය නොවේ. "ජලය" යන වචනයෙන් එහි හයිඩ්‍රජන් දෙකක් හා ඔක්සිජන් එකක් ඇති බව නොකියැවේ.

සූත්‍රවලින් ලියූ විට

සංයෝගයේ වූ මූලද්‍රව්‍යවල පරමාණු අනුපාතය නිශ්චිත ව දැනගැනීමට හැකි ය. H2O යන්නෙන් එය කෙළින් ම කියැවේ.

ඉන් ලැබෙන දේ

සූත්‍ර දැන ගැනීමෙන් පියවර තුනක් විවර වේ

  1. ප්‍රතික්‍රියාව තුලනය කළ හැකි ය.
  2. තුලිත ප්‍රතික්‍රියාව දන්නේ නම්, ප්‍රායෝගික ව ප්‍රතික්‍රියාව සිදු කිරීමේ දී උපරිම ඵල ප්‍රමාණයක් ලබාගැනීමට එක් එක් සංයෝග හෝ මූලද්‍රව්‍ය මිශ්‍ර කළ යුතු ස්කන්ධ අනුපාත ගණනය කළ හැකි ය.
  3. එයින් නාස්තිය අවම වන අතර ඇතැම් ගණනයන් ද පහසු වේ.

රසායනික සමීකරණය

රසායනික සමීකරණයක් යනු, රසායනික ප්‍රතික්‍රියාවක් රසායනික සූත්‍ර භාවිත කර සංකේතානුකූල ව නිරූපණය කර දැක්වීම ය.

එබැවින් නිවැරදි සමීකරණයක් ලිවීමට රසායනික සංකේත මෙන් ම රසායනික සූත්‍ර ද හොඳින් දැන සිටිය යුතු ය — ඒවා 3 සහ 10 පරිච්ඡේදවල දී අප ඉගෙන ගත්තෙමු.