Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — ජීවයේ අඛණ්ඩතාව

14.3. පුරුෂ ප්‍රජනක පද්ධතිය 1 වන පිටුව (4)

එහි කොටස්

පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කොටස්.

වෘෂණ යුගල (Testis)

අණ්ඩාකාර හැඩයක් ගන්නා වෘෂණ යුගලක් වෘෂණ කෝෂ නම් සම් ආවරණයක් තුළ පිහිටා ඇත. ශුක්‍රාණු නිපදවන්නේ මේ තුළ ය.

වෘෂණයක්, වෘෂණ අනුඛණ්ඩිකා 250 කින් පමණ යුක්ත ය. ඒවායේ ශුක්‍රධර නාලිකා නම් සංවලිත නාලිකා 1000 ක් පමණ පවතී. ඒ තුළ ශුක්‍රාණු මාතෘ සෛල ඇත.

අපිවෘෂණ යුගල (Epididymis)

වෘෂණයක ඇති සියලු ම ශුක්‍ර නාලිකා වෘෂණයෙන් පිටතට පැමිණ අපිවෘෂණය නම් තනි සංවලිත නාලයකට විවෘත වේ. ඒ තුළ ශුක්‍රාණු තාවකාලිකව ගබඩා කෙරේ.

ශුක්‍ර නාල යුගල (Vas deferens)

අපිවෘෂණයේ සිට ශුක්‍රාණු ගෙන එන නාලය ශුක්‍ර නාලය නම් වේ. එහි අනෙක් අන්තය ශුක්‍ර ආශයිකාවේ සිට එන නාලයට සම්බන්ධ වේ.

ශුක්‍ර ආශයිකා, පුරස්ථ ග්‍රන්ථිය, කූපර් ග්‍රන්ථි

මේවා පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ග්‍රන්ථි වේ. මෙම ග්‍රන්ථි මගින් සුදු පැහැති ස්‍රාවයක් නිපදවයි. ඒවා මුත්‍ර මාර්ගය වෙත මුදා හරී. ශුක්‍රාණු පරිවහනය හා ඒවාට පෝෂණය සැපයීම සඳහා මෙම තරලය වැදගත් වේ.

ශිෂ්ණය (Penis)

ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වන පේශිමය අවයවය යි. මෙයට රුධිරය මගින් දෘඪ බවක් ලබා දෙයි. ශිෂ්ණය ඔස්සේ මුත්‍ර මාර්ගය ද පිටතට විවෘත වේ. ශිෂ්ණයේ කෙළවර ශිෂ්ණ මුණ්ඩය ලෙස ද, එය ආවරණය කරන සම් පටලය පෙරසම ලෙස ද හැඳින්වේ.

රූපයක් එක් කළ යුතුය

14.20 රූපය — පුරුෂ ප්‍රජනක පද්ධතිය. මුත්‍රාශය, ශුක්‍ර ආශයිකාව, පුරස්ථ ග්‍රන්ථිය, ශුක්‍ර නාලය, අපිවෘෂණය, වෘෂණය, වෘෂණ කෝෂය, මුත්‍ර මාර්ගය සහ ශිෂ්ණය නම් කර ඇත.