Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

4.2. ගම්‍යතාව 1 වන පිටුව (3)

ගම්‍යතාව යනු කුමක්ද?

චලනය වන වස්තුවක ගම්‍යතාව (momentum) යනු එම වස්තුවේ චලිතය නැවැත්වීමට කෙතරම් අපහසු ද යන්න පිළිබඳ මිනුමකි.

අල්ලා ගැනීම කෙතරම් අපහසු ද?

ඔබගේ මිතුරෙක් ඔබ වෙත විසි කරන පෑනක් අල්ලා ගැනීම ඉතා පහසු කාර්යයකි. එහෙත් ඒ වෙනුවට කෙනෙක් ඔබ වෙත යගුලියක් වැනි ස්කන්ධය ඉතා වැඩි වස්තුවක් විසි කළහොත් එය අල්ලා ගැනීම එතරම් පහසු නොවේ.

එහෙත් එම යගුලිය ම විසි නොකර ඔබ අතට ලබා දුන්නේ නම්, එය අතට ගැනීම අපහසු නොවේ. එනම් ස්කන්ධය පමණක් නොවේ වැදගත් වන්නේ.

වෙඩි උණ්ඩය

වෙඩි උණ්ඩයක් යනු ඉතා කුඩා ස්කන්ධයක් සහිත, පහසුවෙන් අල්ලා ගත හැකි වස්තුවකි.

එහෙත් එය තුවක්කුවකින් නිකුත් වූ විට අල්ලා නවත්වා ගැනීම ගැන සිතීමටවත් නොහැකි ය. වෙනස් වූයේ ස්කන්ධය නොව ප්‍රවේගය ය.

එබැවින්

වස්තුවක චලිතය නැවැත්වීමට ඇති අපහසුතාව ස්කන්ධය සහ ප්‍රවේගය යන සාධක දෙක ම මත රඳා පවතී.

ස්කන්ධය විශාල නමුත් ප්‍රවේගය ශුන්‍ය නම් — නැවැත්වීමට යමක් නැත. ප්‍රවේගය විශාල නමුත් ස්කන්ධය ඉතා කුඩා නම් — නැවැත්වීම පහසු ය. දෙක ම විශාල නම් පමණක් එය අනතුරුදායක වේ.