Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.6. චලනය 3 වන පිටුව (3)

තැනින් තැනට නොගොස් චලනය

ශාකයක් තැනින් තැනට නොයයි. එහෙත් එය වර්ධනය වන දිශාව මගින් උත්තේජයකට ප්‍රතිචාර දක්වයි.

ජනේලයක් අසල පෝච්චියක සිටවූ පැළෑටියක අග්‍රස්ථය ආලෝකය දෙසට වර්ධනය වන බව ඔබ දැක ඇති. ශාකයක අග්‍රස්ථය ආලෝකය දෙසට ත් මුල ගුරුත්වය දෙසට ත් වර්ධනය වේ.

ධන ප්‍රභාවර්තී

ශාක කඳ ආලෝකය දෙසට වර්ධනය වේ. උත්තේජය ආලෝකයයි.

ධන ගුරුත්වාවර්තී

මුල ගුරුත්වාකර්ෂණය දෙසට වර්ධනය වේ. උත්තේජය ගුරුත්වයයි.

චලනයට හේතු වන උත්තේජ

ජීවියෙකු කෙරෙහි බලපාන උත්තේජ සඳහා ප්‍රතිචාර ලෙස ඔවුහු චලන දක්වති. උත්තේජ විවිධ විය හැකි ය:

ආලෝකය / අඳුර රසායනික ද්‍රව්‍ය ගුරුත්වාකර්ෂණය තාපය / උෂ්ණත්වය කම්පන / ස්පර්ශය

වර්ධක චලනය සෙමින් සිදු වේ

නිදිකුම්බාවක පත්‍රයක් තත්පරයකින් හැකිළේ — එය පත්‍ර චලනයකි. එහෙත් අග්‍රස්ථය ආලෝකය දෙසට හැරෙන්නට දින කිහිපයක් ගත වේ — එය වර්ධක චලනයකි. දෙක ම චලන වුව ද, දෙවැන්න සිදු වන්නේ ශාකය එක් පැත්තකට වඩා අනෙක් පැත්තට වේගයෙන් වැඩීමෙනි.