Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 2 පරිච්ඡේදය — සරල රේඛීය චලිතය

2.4. ත්වරණය 1 වන පිටුව (4)

ත්වරණය යනු කුමක්ද?

සාමාන්‍ය ජීවිතයේ දී අපට බොහෝ විට දකින්නට ලැබෙන්නේ ඒකාකාර නොවන ප්‍රවේගවලින් ගමන් කරන වස්තූන් ය.

මහ මග ගමන් කරන වාහනවලට නිතර ම වේගය අඩු වැඩි කිරීමට සිදු වෙයි. නැතහොත් ගමන් කරන දිශාව වෙනස් කිරීමට සිදු වෙයි. මේ සියල්ලෙහි ම ප්‍රතිඵලය වන්නේ ප්‍රවේගය වෙනස් වීම ය.

ත්වරණය

ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව ත්වරණය නමින් හැඳින්වේ. එනම්, ඒකක කාලයක් තුළ දී සිදු වන ප්‍රවේග වෙනස ත්වරණය යි.

ත්වරණය = ප්‍රවේග වෙනස ÷ කාලය

නිදසුනක් ගණනය කරමු

කාලය t (s) 0 1 2 3 4 5 6
ප්‍රවේගය v (m s−1) 0 2 4 6 8 10 12

ගණනය

ප්‍රවේග වෙනස = අවසාන ප්‍රවේගය − මුල් ප්‍රවේගය = 12 − 0 = 12 m s−1

ගත වූ කාලය = 6 s

ත්වරණය = 12 m s−1 ÷ 6 s = 2 m s−2

ඒකකය m s−2 වන්නේ ඇයි?

ප්‍රවේගයේ ඒකකය m s−1 බව අපි දනිමු. ත්වරණය යනු තත්පරයකට සිදු වන ප්‍රවේග වෙනස නිසා, එහි ඒකකය m s−1 ÷ s එනම් m s−2 ය.

2 m s⁻² කියවන ආකාරය

"සෑම තත්පරයක් පාසා ම එම වස්තුවේ ප්‍රවේගය 2 m s−1 බැගින් වැඩි වේ" යන්නයි. ඉහත වගුවේ අගයන් 0, 2, 4, 6 ... ලෙස යාම එයයි.