Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — ජීවයේ අඛණ්ඩතාව

14.2. කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය 3 වන පිටුව (8)

අතු බැඳීම

මව් ශාකයට සම්බන්ධ ව තිබිය දී ම අතු කැබලි මුල් අද්දවා ගැනීම අතු බැඳීම ලෙස හැඳින්වේ.

අතු බැඳීම හා අතු කැබලි මුල් ඇද්දවීම අතර මුළු වෙනස ම එය යි. අතු කැබලි අසාර්ථක වන තැන අතු බැඳීම සාර්ථක වන්නේ ද එබැවිනි. මුල් හටගන්නා තෙක් අත්ත කිසිදා කපා නොදමන බැවින්, මුල් වැඩෙන්නට ගත වන සති කිහිපය පුරා ම එය මව් ශාකයෙන් පෝෂණය වේ.

අතු බැඳීම ක්‍රම දෙකකට සිදු කරයි. එනම්,

භූමි අතු බැඳීම (Ground Layering)

මෙම ක්‍රමය පොළොවට ආසන්න අතු මුල් අද්දවා ගැනීමට යොදා ගනී. මෙහිදී පොළොවට ආසන්න අත්තක් තෝරාගෙන එහි යට පැත්තේ සුළු කැපුමක් යොදා එම ස්ථානය පසට යට කරයි. සති කිහිපයක් යන විට එම ස්ථානයේ මුල් හට ගනී. එවිට අත්ත කපා මව් ශාකයෙන් වෙන් කර සිටුවයි.

නිදසුන් — සමන් පිච්ච, වැල් දෙහි.

වායව අතු බැඳීම (Aerial Layering)

පොළොවෙන් ඉහළ ඇති අතු මුල් අද්දවා ගැනීමට යොදා ගනී. මෙහිදී පොළොවෙන් ඉහළ පිහිටන අත්තක් තෝරාගෙන එහි කුඩා පොතු වළල්ලක් ඉවත් කර එම ස්ථානයට කොම්පෝස්ට් සහ කොහුබත් මිශ්‍රණයක් තබා පොලිතීනයකින් වෙළනු ලැබේ. සති කිහිපයක් යන විට එම ස්ථානයේ මුල් හට ගනී. එවිට අත්ත කපා මව් ශාකයෙන් වෙන් කර සිටුවයි.

නිදසුන් — දෙළුම්, දෙහි.

රූපයක් එක් කළ යුතුය

14.2 රූපය — අතු බැඳීමේ ක්‍රම දෙක: අත්තක් නවා පසට යට කරන භූමි අතු බැඳීම, සහ පොතු වළල්ලක් ඉවත් කර කොම්පෝස්ට් හා පොලිතීනයෙන් වෙළන වායව අතු බැඳීම.

ශාක අතු බැඳීම මගින් පහත සඳහන් වාසි අත් කර ගත හැකි ය:

  • බීජ නිපදවීම හොඳින් සිදු නොවන ශාක බෝ කර ගත හැකි වීම;
  • එකවර පැළ කිහිපයක් ලබා ගත හැකි වීම.

ක්‍රියාකාරකම 14.2

භූමි අතු බැඳීම සඳහා යොදා ගත හැකි ශාකයක් ගෙවත්තෙන් හඳුනාගන්න. නියමිත ආකාරයට භූමි අතු බැඳීම සිදු කරන්න. සති දෙකක් පමණ ගත වූ පසු, පසට යට කරන ලද ස්ථානයෙන් අත්ත ඔසවා මුල් හටගෙන ඇති ආකාරය නිරීක්ෂණය කරන්න.