සම්පීඩිත වාතය තල්ලු කරයි
බැලුනයකට වාතය පිරවීමේ දී අප කරන්නේ සීමිත පරිමාවකට විශාල වාත ප්‍රමාණයක් පිරවීම ය — එනම් වාතය සම්පීඩනය කිරීම ය. එයින් පීඩනයක් හටගන්නා බව U නළයකින් පෙන්විය හැකි ය.
ක්‍රියාකාරකම 15.2
- U නළයකට ජලය දමන්න. එවිට එහි X හා Y බාහු දෙකේ ජල මට්ටම් සමාන වනු ඇත.
- වාතය පුරවා ගත් බැලුනයේ කට පහසුවෙන් ලිහා ගත හැකි වන සේ නූලකින් ගැටයක් ගසා ගන්න.
- ඉන් පසු එය U නලයේ X බාහුවට සම්බන්ධ කර තවත් නූලකින් ගැට ගසන්න.
- දැන් බැලුනයේ පළමු ගැටය සෙමින් බුරුල් කරන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
ගැටය ඉවත් කළ පසු X බාහුවේ ජල මට්ටම පහළ යන අතර Y බාහුවේ ජල මට්ටම ඉහළ යයි.
මට්ටම් වෙනස කියා දෙන්නේ කුමක් ද?
ද්‍රවයක එකම මට්ටමේ ඇති සියලු ලක්ෂ්‍යවල පීඩන සමාන ය. එබැවින් බැලුනය සම්බන්ධ කිරීමට පෙර බාහු දෙකේ ජල මට්ටම් සමාන වීමෙන් පෙනුණේ, එම ජල මට්ටම් දෙකට ඉහළින් යෙදෙන පීඩන සමාන බව ය — දෙපස ම තිබුණේ වායුගෝලීය පීඩනය ය.
බැලුනය සම්බන්ධ කළ පසු Y බාහුවේ ජල මට්ටම X බාහුවේ මට්ටමට වඩා ඉහළ යාමෙන් පෙනෙන්නේ, X බාහුවේ ජල පෘෂ්ඨයේ දී පීඩනය Y බාහුවේ ජල පෘෂ්ඨයේ දී පීඩනයට වඩා වැඩි බව ය.
නිගමනය
X බාහුවේ පීඩනය වැඩි වූයේ බැලුනයේ ඇති සම්පීඩිත වාතයෙන් එම බාහුවට පීඩනයක් යෙදුණු නිසා ය. එනම්, සම්පීඩිත වායුවක් පීඩනයක් ඇති කරයි.