Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.4. වායු පීඩනය 3 වන පිටුව (8)

වායුගෝලය යනු කුමක් ද?

පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර සිය ගණනක් උසට වායු ගෝලය (atmosphere) පිහිටා ඇත. එය පෘථිවිය වටා ඇති, වාතයෙන් පිරුණු අවකාශය යි.

ජල කඳ සහ වායු කඳ — එකම තර්කය

ජලය පිරවූ බඳුනක ජලය තුළ වූ ඕනෑ ම ලක්ෂ්‍යයක, ඊට ඉහළින් ඇති ජලය නිසා පීඩනයක් හටගනී.

එසේ ම වායු ගෝලය තුළ වූ ඕනෑ ම ලක්ෂ්‍යයක ද, ඊට ඉහළින් ඇති වාතයේ බර නිසා පීඩනයක් හටගනියි.

වායුගෝලීය පීඩනය

යම් ලක්ෂ්‍යයකට ඉහළින් ඇති වාතයේ බර නිසා එම ලක්ෂ්‍යයේ හටගන්නා පීඩනය වායුගෝලීය පීඩනය (atmospheric pressure) නමින් හැඳින්වේ.

අප දැනුවත් නොවන්නේ ඇයි?

අප ජීවත් වන්නේ මේ වායු ගෝලයේ පතුලේ ය. එබැවින් අප මත සෑම මොහොතක ම වායුගෝලීය පීඩනය ක්‍රියා කරමින් පවතී. එය අප නොදැනෙන්නේ, එම පීඩනය සෑම දිශාවකට ම එක ම ලෙස යෙදෙන බැවින් ය — ශරීරය ඇතුළත පීඩනය ද එයට සමාන ය.

වායු කඳ මනිනවා වෙනුවට

වායුගෝලයේ උස කිලෝමීටර සිය ගණනක් වන අතර, ඉහළට යත් ම වාතයේ ඝනත්වය ද අඩු වේ. එබැවින් P = hρg කෙළින් ම යෙදිය නොහැක. ඒ වෙනුවට, එම පීඩනය ද්‍රව කඳකින් සමතුලනය කර මැනිය හැකි ය.

මුලින් ම එය එසේ මැන්නේ ඉතාලි ජාතික ටොරිසෙල්ලි (Torricelli) නම් විද්‍යාඥයා ය. ඔහුගේ උපකරණය ඊළඟ පිටුවේ ය.