ටොරිසෙල්ලිගේ පීඩනමානය
ටොරිසෙල්ලිගේ උපකරණය අතිශය සරල ය — රසදියෙන් පුරවන ලද ඒක කෙළවර වසන ලද වීදුරු නළයක් පමණි.
උපකරණය සාදා ඇති අයුරු
මීටරයක් පමණ දිග වූ ද, එක් කෙළවරක් සංවෘත වූ ද වීදුරු නළයක් රසදියෙන් පුරවා, එය තුළට වාතය ඇතුළු නොවන සේ රසදිය සහිත භාජනයක සිරස් ව යටිකුරුව රඳවනු ලැබේ.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
නළයේ රසදිය යම් ප්‍රමාණයක් පහළ බසින අතර, නළයේ ඉහළ හිස් අවකාශයක් ඇති වේ. නළය තුළ ඉතිරි වන රසදිය කඳේ උස 76 cm පමණ වේ.
රසදිය සියල්ල පහළට නොගලන්නේ ඇයි?
නළයේ අඩංගු රසදිය සියල්ල ම භාජනයට ගලා නොයන්නේ, පිටතට නිරාවරණය වූ රසදිය පෘෂ්ඨය වායුගෝලීය පීඩනය මගින් තද කරගෙන සිටින නිසා බව ටොරිසෙල්ලි තේරුම් ගත්තේ ය.
නමුත් වායුගෝලීය පීඩනය ප්‍රමාණවත් වන්නේ 76 cm පමණ උසක රසදිය කඳක් පවත්වා ගැනීමට පමණකි. නළය තුළ වූ රසදිය කඳෙහි උස 76 cm දක්වා පහළ බසින්නේ ඒ නිසා ය.
ඉහළ ඇති අවකාශය රික්තයකි
රසදිය කඳට ඉහළින් ඉතිරි වන හිස් අවකාශයට වාතය ඇතුළු විය නොහැකි ය — නළයේ එම කෙළවර සංවෘත ය, සහ රසදිය පහළට බැස්සේ එතැනට වාතයක් ගෙන ඒමෙන් නොවේ. එබැවින් එම අවකාශය රික්තකයක් විය යුතු ය.
මෙයින් ලැබෙන දේ
රසදිය කඳේ උස වායුගෝලීය පීඩනයේ මිනුමක් වේ. එබැවින් වායුගෝලීය පීඩනය මැනීමට රසදිය භාවිතයෙන් සාදා ගත් මෙම උපකරණය රසදිය වායු පීඩනමානය (mercury barometer) නම් වේ.