Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.5. කාබන් ඩයොක්සයිඩ් 5 වන පිටුව (7)

හුනු දියර පරීක්ෂාව

කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමට පරීක්ෂා දෙකක් ඇත — දැල්ල නිවීම සහ හුනු දියර කිරි පැහැයට හැරීම.

ක්‍රියාකාරකම 16.10

  • 16.5 රූපයේ ඇති උපකරණ ඇටවුම සකස්කර ගනිමින් CO2 වායුව පරීක්ෂා නළ කිහිපයකට එකතු කර ගන්න.
  • වියළි ඉරටුවක් ගිනි දල්වා දැල්ල සමඟ ම CO2 වායුව අඩංගු පරීක්ෂා නළයකට ඇතුළු කරන්න.
  • දිය ගැසූ හුනු {Ca(OH)2} ටිකක් පරෙස්සමෙන් ජලය 50 ml ක පමණ දිය කර පෙරහන් කඩදාසියකින් පෙරාගන්න. එයින් 5 ml පමණ CO2 ඇති නළයකට දමා තදින් ඇබයක් ගසා හොඳින් සොලවන්න. සාමාන්‍ය වාතය අඩංගු නළයකට ද එම ප්‍රමාණය ම දමා සොලවා නළ දෙකෙහි ද්‍රාවණවල පැහැය සංසන්දනය කරන්න.

නිරීක්ෂණ

දැල්ල එසැණින් නිවී යයි. එපමණක් නොව ඉක්මනින් ම කූරෙහි ඇති ගිනි පුළිඟුව ද නිවී යයි.

වඩාත් හොඳින් හුනු දියර කිරි පැහැයට හැරෙන්නේ CO2 තිබූ නළයේ ය.

කිරි පැහැය ඇති වන්නේ ඇයි?

හුනු දියරවල ඇති කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් {Ca(OH)2} නළයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව සමඟ ප්‍රතික්‍රියා කරයි.

Ca(OH)2 + CO2 → CaCO3 + H2O

අවලම්බනය ම පැහැය දෙයි

මෙහි දී ඇති වන සුදු පැහැති කැල්සියම් කාබනේට් (CaCO3) ජලයේ අවලම්බනය වී ඇති නිසා හුනු දියර කිරි පැහැයට හැරේ.

තව තවත් යැවුවහොත්?

ඉහත අවලම්බනය ඇති නළයට තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් වායුව යැවුවහොත්, එම කාබන් ඩයොක්සයිඩ් කැල්සියම් කාබනේට් සමඟ ප්‍රතික්‍රියා කර ජලයේ ද්‍රාව්‍ය කැල්සියම් බයිකාබනේට් {Ca(HCO3)2} සෑදේ. එවිට ද්‍රාවණයේ කිරි පැහැය නැතිවී යයි — එබැවින් පරීක්ෂාව ඉක්මනින් කියවිය යුතු ය.