Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — ජීවීන්ගේ ලාක්ෂණික

8.5. බහිස්ස්‍රාවය 1 වන පිටුව (3)

පරිවෘත්තිය හා එහි අපද්‍රව්‍ය

ජීවියෙකු ලබාගන්නා ද්‍රව්‍ය සියල්ල ම ප්‍රයෝජනයට නොගැනේ. ඉතිරි වන අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කළ යුතු ය.

සියලු ම ජීවීහු පරිසරයෙන් ද්‍රව්‍ය ලබාගෙන ඒවා තමන්ට අවශ්‍ය, ප්‍රයෝජනවත් ශක්තිය බවට පත්කර ගනිති. ඒ සමග ම ප්‍රයෝජනයට නොගත් ද්‍රව්‍ය හා නිපදවෙන අපද්‍රව්‍ය නැවත පරිසරයට බැහැර කරති. නැතහොත් එම ද්‍රව්‍ය ජීවීන්ගේ සිරුර තුළ එකතු වීමෙන් විෂ සහිත තත්ත්වයක් ඇති විය හැකි ය.

පරිවෘත්තිය හා බහිස්ස්‍රාවය

සෛල තුළ සිදුවන ගොඩනැගීම් හා බිඳ දැමීම් එකතුව පරිවෘත්තිය ලෙස හඳුනාවයි.

පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවෙන අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම බහිස්ස්‍රාවය යි.

අමතර දැනුමට

සංවෘත්තිය (Anabolism)

ජීවී දේහ තුළ සරල ද්‍රව්‍යවලින් සංකීර්ණ සංයෝග සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියයි. මෙහිදී ශක්තිය ගබඩා වේ.

අපවෘත්තිය (Catabolism)

ජීවී දේහ තුළ සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට බිඳහෙළමින් ශක්තිය නිදහස් කිරීමේ ක්‍රියාවලියයි.

පරිවෘත්තිය (Metabolism)

ජීවී දේහ තුළ සිදුවන සියලු ම ජෛව රසායනික ප්‍රතික්‍රියා — එනම් සංවෘත්තීය හා අපවෘත්තීය ක්‍රියාවල එකතුව පරිවෘත්තියයි.

ප්‍රභාසංශ්ලේෂණය සංවෘත්තියකි; ශ්වසනය අපවෘත්තියකි. දෙක ම එකට ගත් විට පරිවෘත්තිය යි.