Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.5. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් 8 වන පිටුව (8)

ඔක්සිජන් නිපදවීම හා හඳුනා ගැනීම

ඔක්සිජන් නිපදවීමට වියෝජන ප්‍රතික්‍රියා යොදා ගැනේ — 16.1 කොටසේ දී අප හමු වූ වර්ගය ම ය.

ප්‍රතික්‍රියා හතරක්

01. පොටෑසියම් පමැංගනේට් රත් කිරීම

2KMnO4 → K2MnO4 + MnO2 + O2

02. පොටෑසියම් නයිට්‍රේට් රත් කිරීම

2KNO3 → 2KNO2 + O2

03. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය

2H2O2 → 2H2O + O2

04. පොටෑසියම් ක්ලෝරේට් රත් කිරීම

2KClO3 → 2KCl + 3O2

රූපයක් එක් කළ යුතුය

16.4 රූපය — විද්‍යාගාරයේ දී ඔක්සිජන් වායුව පිළියෙල කිරීම; ආධාරකය, කැකෑරුම් නළය, පොටෑසියම් පමැංගනේට් ස්ඵටික, කිරළ ඇබය, විසර්ජක නළය, වායු සරාව, ජල ද්‍රෝණිකාව සහ වායු සංග්‍රහණ මංචය.

මෙහි දී O2 වායුව රැස් කර ගන්නා ක්‍රමය ද ජලයේ යටිකුරු විස්ථාපන ක්‍රමය ම බව ඔබට පෙනෙනු ඇත.

ක්‍රියාකාරකම 16.9

ඉහත 16.4 රූපයේ දැක්වෙන ආකාරයට ඇටවුමක් සකස් කර පරීක්ෂා නළ කිහිපයකට ඔක්සිජන් (O2) වායුව රැස්කර ගන්න. වියළි ඉරටු කූරක් සපයා ගෙන එහි එක් කෙළවරක් දහනය කරන්න. පුළිඟුවක් ඇති වූ පසු දැල්ල නිවා දමන්න. දැන් ඔක්සිජන් වායුව රැස්වූ නළයක් ජලයෙන් ඉවතට ගෙන කට විවෘත කළ සැණින් පුළිඟු කීර නළය තුළට ඇතුළු කරන්න.

(මෙම ක්‍රියාකාරකම විද්‍යා ගුරුතුමා හෝ ගුරුතුමිය සමඟ සිදුකරන්න.)

නිරීක්ෂණය

පුළිඟුව නැවත දැල්ල සාදමින් දීප්තිමත් ව දැවෙනු නිරීක්ෂණය කළ හැකි වේ. මෙම නිරීක්ෂණය මගින් ඔක්සිජන් වායුව හඳුනාගත හැකි ය.

ඔක්සිජන් වායුවේ භාවිත

  • සියලු ම ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය වේ.
  • යමක් වාතයේ දැවීමේ දී ප්‍රතික්‍රියා වන්නේ ඔක්සිජන් සමඟ ය — එබැවින් දහනයට අවශ්‍ය වේ.
  • කිමිදීමේ දී මෙන් ම අභ්‍යවකාශ ගමන්වල දී ප්‍රයෝජනයට ගැනේ.
  • ලෝහ පෑස්සීමට යොදා ගන්නා ඔක්සි ඇසිටලීන් දැල්ල ලබා ගැනීමට.
  • සල්ෆියුරික් අම්ලය හා නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය වැනි කර්මාන්තවල දී අමුද්‍රව්‍යයක් ලෙස.