ද්‍රව පීඩනය ගණනය කිරීම
පීඩනය රඳා පවතින්නේ ද්‍රව කඳේ උස මත පමණක් නම්, එම උසෙන් ම පීඩනය ගණනය කළ හැකි විය යුතු ය. දැන් එම සූත්‍රය සොයා ගනිමු.
සූත්‍රය ගොඩනැඟෙන අයුරු
භාජනයක ඇති ද්‍රව කඳේ උස h ද, ද්‍රවයේ ඝනත්වය ρ ද යැයි ගනිමු.
පතුලේ ඒකක වර්ගඵලයකට ඉහළින් ඇති ද්‍රව කඳේ පරිමාව h වන අතර, එහි ස්කන්ධය hρ වේ.
එබැවින් එම ද්‍රව කඳේ බර hρg වේ.
මෙම බර යෙදෙන්නේ ඒකක වර්ගයක් සහිත ප්‍රදේශයකට නිසා, පතුලේ පීඩනය ද hρg ම වේ.
ද්‍රව පීඩනයේ සූත්‍රය
P = h ρ g
h = ද්‍රව කඳේ සිරස් උස (m)
ρ = ද්‍රවයේ ඝනත්වය (kg m−3)
g = ගුරුත්වජ ත්වරණය (m s−2)
P = ලැබෙන පීඩනය (N m−2 එනම් Pa)
රූපයක් එක් කළ යුතුය
මෙම ප්‍රතිඵලය සත්‍ය වන්නේ භාජනයක පතුලේ පීඩනය සඳහා පමණක් නොවේ. ද්‍රවයක් තුළ ඇති ඕනෑ ම ලක්ෂ්‍යයකට ඉහළින් ඇති ද්‍රව කඳේ උස h නම්, එම ලක්ෂ්‍යයේ පීඩනය P = hρg වේ.
නිදසුන 1
ගැටලුව
වැවක එක් ස්ථානයක ගැඹුර 1.5 m වේ. එම ස්ථානයේ පත්ල මත ජලය මගින් ඇති කරන පීඩනය සොයන්න. (ජලයේ ඝනත්වය = 1000 kg m−3; g = 10 m s−2)
විසඳුම
පීඩනය = h ρ g = 1.5 m × 1000 kg m−3 × 10 m s−2
= 15 000 Pa
නිදසුන 2
ගැටලුව
මුහුදේ එක්තරා ස්ථානයක ගැඹුර 10 m වේ. එම ස්ථානයේ මුහුදු පත්ල මත කරදිය මගින් ඇති කරන පීඩනය සොයන්න. (මුහුදු ජලයේ ඝනත්වය = 1050 kg m−3; g = 10 m s−2)
විසඳුම
පීඩනය = h ρ g = 10 m × 1050 kg m−3 × 10 m s−2
= 105 000 Pa
පොදු වැරැද්දක්
h ලෙස ගත යුත්තේ භාජනයේ උස නොව, ප්‍රශ්නයට අදාළ ලක්ෂ්‍යයට ඉහළින් ඇති ද්‍රව කඳේ උස ය. එසේ ම එය සෙන්ටිමීටර නොව මීටරවලින් ආදේශ කළ යුතු ය.