Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 14 පරිච්ඡේදය — ජීවයේ අඛණ්ඩතාව

14.3. ආර්තව චක්‍රය 2 වන පිටුව (4)

ඩිම්බකෝෂය තුළ සිදුවන වෙනස්කම්

ස්ත්‍රී ප්‍රජනක සෛල වන ඩිම්බ සෛල වර්ධනය කර ඒවා ඩිම්බකෝෂයෙන් මුදා හැරීම ඩිම්බකෝෂය මගින් සිදු වේ. ඩිම්බකෝෂය තුළ සිදුවන වෙනස්වීම් ප්‍රධාන අවධි දෙකකට බෙදයි.

රූපයක් එක් කළ යුතුය

14.25 රූපය — ආර්තව චක්‍රයේ දී ඩිම්බකෝෂය තුළ සිදුවන වෙනස්වීම: දින 0, 14 හා 28 හරහා ලුටෙයීකරණ හෝර්මෝනයේ හා සයුනිකා උත්තේජක හෝර්මෝනයේ මට්ටම්, සහ ඒවාට පහළින් ප්‍රාථමික සයුනිකාව, ද්විතීයික සයුනිකාව, ග්‍රාෆීය සයුනිකාව, ඩිම්බ මෝචනය, පීතදේහය සහ ශ්වේතදේහය.

1. සයුනිකා අවධිය

ආරම්භක අවධිය යි. පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන සයුනිකා උත්තේජක හෝර්මෝනයේ (FSH) බලපෑම යටතේ ඩිම්බකෝෂය තුළ ඇති ප්‍රාථමික සයුනිකාවක් ග්‍රාෆී සයුනිකාව දක්වා වර්ධනය වී ඩිම්බයක් මුදා හැරීමට හැකි තත්ත්වයට පත්වීම සයුනිකා අවධියේ දී සිදු වේ.

මේ සඳහා දින 14 ක් පමණ ගත වේ. මෙම අවධිය තුළ ඩිම්බකෝෂයෙන් ඊස්ට්‍රජන් හෝර්මෝනය ස්‍රාවය වීම ද සිදු වේ.

2. ලුයුටියල් අවධිය

අවසාන අවධිය යි. ග්‍රාෆී සයුනිකාව පරිණත වූ පසු පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය කරන ලුටෙයීකරණ හෝර්මෝනයේ (LH) බලපෑම යටතේ පිපිරී ඒ තුළ ඇති ඩිම්බය, ඩිම්බකෝෂයෙන් පැලෝපීය නාළය වෙත මුදාහැරීම සිදු වේ.

මුදාහළ ඩිම්බය පැලෝපීය නාළය ඔස්සේ ඉදිරියට ගමන් කරන අතර සංසේචනයක් සිදු නොවුයේ නම් ග්‍රාෆී සයුනිකාවේ ඉතිරි කොටස පීත දේහය බවටත්, ශ්වේත දේහය බවටත් පත් වී පරිහාණි වීම ද මෙම අවධියේ දී සිදු වේ.

මේ සඳහා දින 14 ක් පමණ ගත වේ. මෙම අවධිය තුළ ඩිම්බකෝෂයෙන් ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝනය ස්‍රාවය වීම ද සිදු වේ.

හෝර්මෝන දෙකක් ඇතුළට, දෙකක් පිටතට

ඒවා සාදන අවයවය අනුව හතර වෙන් කර ගන්න. පිටියුටරිය උපදෙස් යවයි — පළමුව FSH, පසුව LH. ඩිම්බකෝෂය පිළිතුරු යවයි — පළමු අවධියේ දී ඊස්ට්‍රජන්, දෙවන අවධියේ දී ප්‍රොජෙස්ටෙරෝන්. ඒවා අතර කණුව, දින 14 පමණ දී සිදුවන ඩිම්බ මෝචනය යි.