Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.6. ලෝහ, අලෝහ සහ ලෝහාලෝහ 3 වන පිටුව (10)

සෝඩියම්

සෝඩියම් (Sodium, Na) යනු ආවර්තිතා වගුවේ පළමු කාණ්ඩයට අයත් ලෝහ මූලද්‍රව්‍යයකි. එය අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයකි.

කිසි විටෙකත් එය ලෝහය ලෙස ස්වභාවයේ නොපවතී. එම අධික ප්‍රතික්‍රියාකාරීත්වය නිසා සෝඩියම් ස්වභාවයේ පවතින්නේ වෙනත් මූලද්‍රව්‍ය සමඟ සංයෝජිත තත්ත්වවලිනි. එහි ප්‍රධාන සංයෝගයක් වන සෝඩියම් ක්ලෝරයිඩ් (sodium chloride) මුහුදු ජලයේ පවතින ප්‍රධාන සංයෝගයයි.

රූපයක් එක් කළ යුතුය

3.12 රූපය: අලුතින් කපන ලද සෝඩියම් ලෝහ කැබලි දෙකක්; කැපූ පෘෂ්ඨයේ දිලිසෙන රිදීවන් පැහැය පෙනේ.

ක්‍රියාකාරකම 01 — ගුරුතුමා / තුමියගේ සහාය ලබාගෙන

  • සෝඩියම් ලෝහය විද්‍යාගාරයේ ගබඩා කර ඇති ආකාරය නිරීක්ෂණය කර වාර්තා කරන්න.
  • සෝඩියම් කැබැල්ලක් ඩැහි අඬුවක් භාවිතයෙන් ඉවතට ගෙන වියළි මතු පිටක් මත තබා පිහියකින් කපන්න.
  • එය විනාඩි පහක් පමණ වාතයට නිරාවරණය කර තබන්න. නිරීක්ෂණ සටහන් කරන්න.

සෝඩියම් අධික ප්‍රතික්‍රියාශීලී නිසා වාතය නොගැටෙන පරිදි පැරෆින් තෙල් හෝ භූමිතෙල් තුළ ගබඩා කර තබනු ලැබේ. තෙල්වලින් ඉවතට ගත් විට එහි දීප්තියක් දක්නට නොලැබේ. එය පිහියකින් ඉතා පහසුවෙන් කැපිය හැකි ය; කැපූ පෘෂ්ඨයේ රිදීවන් ලෝහමය දීප්තියක් ඇත — ටික වේලාවකින් එම දීප්තිය ක්‍රමයෙන් අඩු වේ.

භෞතික ගුණ

  • පිහියකින් කැපිය හැකි තරම් මෘදු ලෝහයකි.
  • ජලයට වඩා ඝනත්වය අඩු නිසා ජලය මතු පිට පා වේ — ඝනත්වය 0.927 g cm−3.
  • විද්‍යුත් හා තාප සන්නායකයකි.

රසායනික ගුණ

  • ඔක්සිජන් සමඟ ප්‍රබල ප්‍රතික්‍රියාශීලීත්වයක් දක්වයි: වාතයේ ඇති ඔක්සිජන් වායුව සමඟ ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර ලෝහයේ ඔක්සයිඩ සාදයි.
  • සිසිල් ජලය සමඟ ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් වායුව සාදයි.
  • තනුක අම්ල සමඟ ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කර ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව සාදයි — මෙය බෙහෙවින් අනතුරුදායක ප්‍රතික්‍රියාවක් නිසා අත්හදා බැලීම් නොකරන්න.

භාවිත

  • රන් රිදී නිස්සාරණයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් නිපදවීමට.
  • කාබනික රසායන විද්‍යාවේ දී ඔක්සිහාරකයක් ලෙස ගන්නා සෝඩියම් සංරසය සෑදීමට.
  • ටයිටේනියම්, සර්කෝනියම් වැනි ලෝහවල සංයෝගවලින් ලෝහය වෙන් කර ගැනීමට.
  • කලිසම් රෙදි (ඩෙනිම්) වර්ණ ගැන්වීමට යොදා ගන්නා ඉන්ඩිගෝ වැනි සායම් වර්ග නිපදවීමට.
  • කහ පැහැ ආලෝකය විහිදන විදුලි ලාම්පු සඳහා යොදා ගැනීම.