ආහාරවල මූලද්‍රව්‍ය සොයා ගැනීම
මෙම පාඩම පුරා අපි නැවත නැවත කීවේ ජෛව අණු සියල්ල ම ප්‍රධාන වශයෙන් කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O) සහ නයිට්‍රජන් (N) වලින් සෑදී ඇති බවයි. එය පොතෙන් කියවා පමණක් පිළිගත යුතු නැත — සරල ක්‍රියාකාරකම් කිහිපයකින් ඔබට ම එය තහවුරු කර ගත හැකි ය.
ක්‍රියාකාරකම 1 — ආහාරයේ ජලය අඩංගු බව පරීක්ෂණාත්මක ව පෙන්වීම
ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය: මස්, බිත්තර කටු, ශාක පත්‍ර, කෝව
- මස්, බිත්තර කටු සහ ශාක පත්‍ර එකිනෙක මිශ්‍ර නොකර, වෙන වෙන ම කුඩු කර ගන්න.
- එක් එක් සාම්පලය වෙන ම කෝවකට දමා, ජලය ඉවත් වී එය දැවී යන තෙක් රත් කරන්න.
- රත් කරන අතරතුර කෝවට ඉහළින් සීතල වීදුරු තහඩුවක් අල්ලා ගෙන සිටින්න.
- තහඩුව මත එකතු වන ද්‍රව බිංදු ජලය දැයි බැලීමට ඒවා කොබෝල්ට් ක්ලෝරයිඩ් කඩදාසියක ගාන්න.
නිරීක්ෂණය
නිල් පැහැති කොබෝල්ට් ක්ලෝරයිඩ් රෝස පැහැයට හැරේ. එයින් පෙනෙන්නේ තහඩුව මත එකතු වූයේ ජලය (H2O) බවයි — එනම් ආහාරවල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ඇත.
ක්‍රියාකාරකම 2 — ජෛව අණු තුළ කාබන් අඩංගු බව පරීක්ෂණාත්මක ව පෙන්වීම
ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය: කෝව කිහිපයක්, ශාක පත්‍ර, මාළු කැබැල්ලක්, බත් ස්වල්පයක්
- මාළු, බත් සහ ශාක පත්‍ර එකිනෙකට වෙන් කර, එක් එක්කක් පොඩි කර තලපයක් බවට පත් කරන්න.
- තලප තුන වෙන වෙන ම කෝව තුනකට දමා දැඩි ලෙස රත් කරන්න.
- රත් කිරීම අවසානයේ කෝවේ ඉතිරි වන ද්‍රව්‍යය සුදු කඩදාසියක අතුල්ලා බලන්න.
නිරීක්ෂණය
කඩදාසිය මත අඟුරු කැබැල්ලකින් ඇන්දාක් මෙන් කළු ඉරි ඇඳේ. සියල්ල දැවී ගිය පසු ඉතිරි වූ එම කළු ද්‍රව්‍යය කාබන් ය.
ක්‍රියාකාරකම 3 — ජෛව අණු තුළ නයිට්‍රජන් අඩංගු බව පරීක්ෂණාත්මක ව පෙන්වීම
ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය: පරීක්ෂා නළ දෙකක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය, බිත්තර සුදු මදය, මාළු කැබැල්ලක්
- මාළු කැබැල්ල හොඳින් තලා, ජලය ස්වල්පයක් එක් කර මිශ්‍ර කර, පෙරා යුෂ ලබා ගන්න.
- එක් පරීක්ෂා නළයකට බිත්තර සුදු මදය 2 ml ද, අනෙකට මාළු යුෂ 2 ml ද දමන්න.
- නළ දෙකට ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය වැඩි ප්‍රමාණයක් එක් කරන්න.
- ඉන්පසු නළ දෙකට ම කොපර් සල්ෆේට් ද්‍රාවණ බිංදු කිහිපයක් එක් කරන්න.
නිරීක්ෂණය
නළ දෙකෙහි ම ද්‍රාවණය දම් පැහැයට හැරේ.
ක්‍රියාකාරකම 3 හි තර්කය
තුන්වන ක්‍රියාකාරකම ඇත්තට ම ප්‍රෝටීන පාඩමේ දී ඉගෙන ගත් බයියුරේට් පරීක්ෂාවයි. එය ඍජුව ම පෙන්වන්නේ ප්‍රෝටීන ඇති බව පමණි. නමුත් සෑම ප්‍රෝටීනයක ම නයිට්‍රජන් ඇති බව අපි දනිමු. එබැවින් ප්‍රෝටීන ඇති බව ඔප්පු වූ විට නයිට්‍රජන් ද ඇති බව නිගමනය කළ හැකි ය. මෙය ඍජු සාක්ෂියක් නොව, තර්කයෙන් ලබා ගන්නා වක්‍ර සාක්ෂියකි.