වේගය යනු කුමක්ද?
අධික වේගයෙන් ගමන් කරන රථවාහන නිසා ඇති වන අනතුරු ගැන අපට නිතර අසන්නට ලැබේ. මේ නිසා ම මහා මාර්ගවල වේග සීමා නියම කර තිබේ.
එසේ නම්, "වේගය" යනු හරියටම කුමක් ද?
වේගය
වේගය යනු දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව යි.
වේගය = දුර ÷ කාලය
එනම්, ඒකක කාලයක දී වස්තුවක් චලනය වන දුර වේගය යි.
ඒකකය
දුර මීටර (m) වලින් ද කාලය තත්පර (s) වලින් ද දක්වා ඇති නිසා, වේගයේ ඒකකය තත්පරයට මීටර වේ. එය ලියන කෙටි ආකාරය m s−1 ය.
ඒකකය කියවන ආකාරය
m s−1 යනු m ÷ s ලිවීමේ තවත් ක්‍රමයකි. එබැවින් වේගය 5 m s−1 යනු "සෑම තත්පරයක් පාසා ම මීටර 5ක්" යන්නයි.
වේගය සැම විට එක ම නොවේ
මහා මාර්ගවල වාහන ගමනාගමනයේ දී, බොහෝ විට වාහනවලට එක ම වේගයක් පවත්වා ගත නොහැකි ය. මාර්ගයේ වෙනත් වාහන වැඩි විට වේගය අඩු කිරීමට සිදු වන අතර, මගීන් පාර පනින ස්ථානවල දී වාහන නැවැත්වීමට ද සිදු වෙයි.
මෝටර් රථයක වේග මානයෙන් දැක්වෙන්නේ ඒ මොහොතේ රථයේ පවතින වේගය යි. මීළඟ පිටු දෙකේ දී වේගය එක ම ලෙස පවතින අවස්ථා සහ නොපවතින අවස්ථා වෙන් වෙන් ව බලමු.