Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 16 පරිච්ඡේදය — පදාර්ථයේ වෙනස් වීම්

16.1. ප්‍රතික්‍රියා වර්ග හතර 1 වන පිටුව (6)

රසායනික සංයෝජන ප්‍රතික්‍රියා

ක්‍රියාකාරකම 16.2 හි පළමු ප්‍රතික්‍රියාව සලකන්න. එහි දී මැග්නීසියම්, වාතයේ ඇති ඔක්සිජන් වායුව සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් මැග්නීසියම් ඔක්සයිඩ් සෑදේ.

මැග්නීසියම් + ඔක්සිජන් → මැග්නීසියම් ඔක්සයිඩ්

2Mg + O2 → 2MgO

මෙහි දී මූලද්‍රව්‍ය දෙකක් එකතු වී නව සංයෝගයක් සෑදී ඇත.

රසායනික සංයෝජන ප්‍රතික්‍රියාව

මූලද්‍රව්‍ය සහ මූලද්‍රව්‍ය, මූලද්‍රව්‍ය සහ සංයෝග, හෝ සංයෝග සහ සංයෝග එකතු වී නව සංයෝගයක් සෑදීම රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වේ.

A + B → C

තවත් නිදසුන් තුනක්

හයිඩ්‍රජන් + ක්ලෝරීන් → හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්

H2 + Cl2 → 2HCl

කාබන්ඩයොක්සයිඩ් + කාබන් → කාබන්මොනොක්සයිඩ්

CO2 + C → 2CO

කැල්සියම් ඔක්සයිඩ් + ජලය → කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්

CaO + H2O → Ca(OH)2

හඳුනා ගන්නා ලකුණ

සංයෝජන ප්‍රතික්‍රියාවක ඵලය සැම විට ම එකකි. දකුණු පස ඇත්තේ එක් ද්‍රව්‍යයක් පමණක් නම්, එය සංයෝජනයකි.

CO2 + C → 2CO ප්‍රතික්‍රියාව මතක තබා ගන්න — යකඩ නිස්සාරණය ගැන කතා කරන විට අප එය නැවත හමු වෙමු.