ඝර්ෂණය උපකාරී වන විට
මෙතෙක් අපි සාකච්ඡා කළේ ඝර්ෂණයේ හානිකර පැත්ත සහ ඒ සඳහා යොදනු ලබන පිළියම් ය. එහෙත් ඇතැම් විට ඝර්ෂණය අපට ප්‍රයෝජනවත් වන අවස්ථා ද ඇත — සමහරක් තැන්වල එය නොමැති ව කිසිවක් සිදු නොවේ.
ඇවිදීම
පෘෂ්ඨයක් මත අපට ඇවිද ගෙන යා හැක්කේ එම පෘෂ්ඨය මගින් අපගේ පතුල් මත ඝර්ෂණ බලයක් ඇති කර ලිස්සා යාම වළක්වන නිසා ය. තෙත් වූ පොළොවක හෝ තෙල් වැනි දෙයක් වැටුණු පොළොවක ඇවිදින විට ලිස්සා වැටෙන්නට යන්නේ ඝර්ෂණය අඩු නිසා ය.
ටයර්
මෝටර් රථයක ටයරවල කට්ට කපා තිබෙන්නේ රෝදයේ පෘෂ්ඨයත් බිමත් අතර ඝර්ෂණය වැඩි කරලීම සඳහා ය. ප්‍රමාණවත් තරම් ඝර්ෂණය නොමැති නම් මෝටර් රථ ලිස්සා ගොස් අනතුරු සිදුවිය හැකි ය. මඩ හෝ වැලි සහිත ස්ථානවල දී සමහර අවස්ථාවල රෝද එක තැන කරකැවෙන්නේ ද රෝදය ඉදිරියට යාමට ප්‍රමාණවත් තරම් ඝර්ෂණය නොමැති නිසා ය.
රූපයක් එක් කළ යුතුය
වැසි කාලයේ දී කට්ට වැදගත් වන්නේ ඇයි?
තෙත මාර්ගවල රථවාහන ධාවනයේ දී ටයරය හා මාර්ගය අතර ඇති ජල තට්ටුව නිසා පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණය අඩු වී වාහන ලිස්සා යෑමට පෙළඹේ. ටයරවල කට්ට කපා ඇත්තේ ටයරයට යටින් ඇති ජලයට එයින් ඉවත් වීමට ඉඩ සැලසීමට ය; එමගින් වාහනය ජලය මත ලිස්සා යෑම අවම කෙරේ.
කඹ
කඹ සාදාගන්නේ කොහු කෙඳි එකට ඇඹරීමෙනි. කඹයට විශාල බලයක් යෙදුව ද එහි ඇති කෙඳි වෙන් නොවන්නේ ඒවා අතර පවතින ඝර්ෂණය හේතුවෙනි.
කොහු හා නයිලෝන්
කොහු ලණුවක ගැසූ ගැටයකට වඩා නයිලෝන් ලණුවේ ගැසූ ගැටය පහසුවෙන් ලිහිය හැකි ය. ඊට හේතුව කොහු ලණුවේ තන්තු අතර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය නයිලෝන් තන්තු අතර ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට වඩා වැඩි වීම යි.