Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය

පරිච්ඡේදය එකට ගැළපීම 1 වන පිටුව (3)

පරිච්ඡේදයේ සාරාංශය

මුළු පරිච්ඡේදය ම එක් ලැයිස්තුවකින්.

ධාරාවක් හා ක්ෂේත්‍රයක්

  • විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායකයක් වටා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කස්කුරුප්පු නීතිය මගින් සොයාගත හැකි ය.
  • කස්කුරුප්පුවක් ධාරාව ගලන දිශාවට චලනය වන සේ භ්‍රමණය කරන විට එය භ්‍රමණය කෙරෙන දිශාව චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ගමන් කරන දිශාව වේ.
  • චුම්බක ක්ෂේත්‍රයක් තුළ තැබූ ධාරාව ගලන සන්නායකයක් මත බලයක් ක්‍රියා කරයි.
  • එම බලය, සන්නායකය දිගේ ගලන ධාරාව, සන්නායකයේ දිග සහ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව යන සාධක තුනට අනුලෝමව සමානුපාතික වේ.
  • සන්නායකය මත ක්‍රියාකරන බලයේ දිශාව සොයා ගැනීමට ෆ්ලෙමිංගේ වමත් නීතිය යොදා ගත හැකි වෙයි. එම නීතියට අනුව වම් අතේ මහපටඇඟිල්ල, දබරැඟිල්ල සහ මැදඇඟිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන ධාරාවේ දිශාවට මැදඇඟිල්ලත් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබරැඟිල්ලත් යොමුකළ විට මාපටැඟිල්ල යොමුවන දිශාව, සන්නායකය මත බලය ඇති වන දිශාවයි.
  • චුම්බක ක්ෂේත්‍රයක් තුළ තැබූ ධාරාව ගලන සන්නායකයක් මත ඇති වන බලය උපයෝගී කර ගනිමින් සරල ධාරා මෝටරය, ශබ්ද විකාශකය වැනි උපකරණ ක්‍රියා කරයි.
  • මෝටරයක ක්‍රියාකාරීත්වයේ දී විද්‍යුත් ශක්තිය, යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය වෙයි.

ප්‍රේරණය

  • විචල්‍ය චුම්බක ක්ෂේත්‍රයක් නිසා සංවෘත පරිපථයක විද්‍යුත්ගාමක බලයක් ඇති වීම විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙසින් හඳුන්වනු ලැබේ.
  • ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය දඟරයේ වට ගණන, චුම්බකයේ ප්‍රබලතාව සහ චුම්බකය චලනය කරන වේගය යන සාධක මත රඳා පවතියි.
  • ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය නිසා පරිපථය තුළින් ගලන ධාරාවේ දිශාව සොයාගැනීමට ෆ්ලෙමිංගේ දකුණත් නීතිය භාවිත කළ හැකි ය. එම නීතියට අනුව දකුණු අතේ මහපටඇඟිල්ල, දබරැඟිල්ල සහ මැදඇඟිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දබර ඇඟිල්ලත් චලන දිශාවට මහපටඇඟිල්ලත් යොමු කළ විට මැදඇඟිල්ල යොමු වී ඇති දිශාවට ප්‍රේරිත ධාරාව ගලා යයි.
  • විද්‍යුත් චුම්බක ප්‍රේරණය ප්‍රායෝගික ව යොදාගැනෙන අවස්ථා ලෙස බයිසිකල් ඩයිනමෝව, සල දඟර මයික්‍රොෆෝනය සහ පරිණාමක දැක්විය හැකි ය.

සරල ධාරා, ප්‍රත්‍යාවර්ත ධාරා හා පරිණාමක

  • කාලය සමඟ ධාරාවේ දිශාව වෙනස් නොවේ නම් එවැනි ධාරාවක් සරල ධාරාවක් ලෙස හැඳින්වේ.
  • කාලය සමඟ ධාරාවේ දිශාව වෙනස් වේ නම් එවැනි ධාරාවක් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස හැඳින්වේ.
  • කෝෂ/ සූර්ය කෝෂ ආදියෙන් සරල ධාරාවක් ද ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝවෙන් ප්‍රත්‍යාවර්තක ධාරාවක් ද ලබා දෙයි.
  • පරිණාමක මගින් ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවක් එක් අගයක සිට වෙනත් අගයකට වෙනස් කළ හැකි ය.
  • පරිණාමකවල ප්‍රාථමික දඟරය සහ ද්විතීයික දඟරය අතර සම්බන්ධතා VS/VP = NS/NP සහ VPIP = VSIS වේ.