තමා ම චලනය වන කම්බියක්
සන්නායකයක් තුළින් ධාරාවක් ගලා යන විට එම සන්නායකය වටා චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නා බව ඔබ විසින් ඉහත ඉගෙන ගන්නා ලදි. දැන් අපි චුම්බක ක්ෂේත්‍රයක ධාරාවක් ගෙන යන සන්නායකයක් තැබූ විට සන්නායකය මත බලයක් ක්‍රියාකරන්නේ දැයි 13.3 ක්‍රියාකාරකමෙහි යෙදීමෙන් සොයා බලමු.
13.3 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: U (බුරුප) චුම්බකයක්, සන්නායක කැබැල්ලක්, පිත්තල හෝ වෙනත් සන්නායක කූරු දෙකක්, කෝෂ 2ක්
- මේසයක් මත බුරුප චුම්බකය තබා, සිදුරු දෙකක් විදින ලද ඝන කාඩ්බෝඩ් කැබැල්ලක ආධාරයෙන් පිත්තල කූරු දෙක 13.7 රූපයේ පෙන්වා ඇති ආකාරයට රඳවන්න. පිත්තල කූරුවල A සහ D කෙළවරට E වියළි කෝෂ සහ S ස්විච්චය සම්බන්ධ කරන්න.
- ඉන්පසු චුම්බකයේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැව අතර පිත්තල කූරු දෙක මත BC සන්නායක කම්බි කැබැල්ල තබන්න.
- S ස්විච්චය වසා ධාරාව සපයන්න. එවිට කෝෂයේ සිට පිත්තල කූර දිගේ AB දිශාව ඔස්සේ ගලන ධාරාව BC සන්නායක කැබැල්ල දිගේ ගමන් කර අනෙක් පිත්තල කූර දිගේ CD දිශාවට කෝෂය වෙත පැමිණේ.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණ
- ධාරාව යවන විට BC සන්නායක කම්බිය පිත්තල කූරු දෙක මත චුම්බකයෙන් ඉවතට (දකුණු දෙසට) චලනය වන බව ඔබට පෙනෙනු ඇත.
- බැටරිවල අග්‍ර මාරු කර ධාරාවේ දිශාව ප්‍රතිවිරුද්ධ කර නිරීක්ෂණය කරන්න. BC කම්බිය චුම්බකය තුළට (වම් දෙසට) චලනය වන බව ඔබට පෙනෙනු ඇත.
- චුම්බකය, එහි ධ්‍රැව උඩ යට අග්‍ර මාරු වන පරිදි තබා BC කම්බියේ චලනය නැවත නිරීක්ෂණය කරන්න. එවිට BC කම්බියේ චලන දිශාව ඉහත දැක්වූ දිශාවලට ප්‍රතිවිරුද්ධ දිශාවලට වන බව පෙනෙනු ඇත.
චුම්බක ක්ෂේත්‍රයක් තුළ තැබූ සන්නායකයක් තුළින් ධාරාවක් යැවූ විට සන්නායකය චලනය වන්නේ එය මත බලයක් ඇති වන නිසා ය. සන්නායකය චලනය වන දිශාව මගින් බලයේ දිශාව පෙන්වනු ලැබේ. ඉහත ක්‍රියාකාරකමෙහි දී චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් සන්නායකය තුළ ධාරාව ගලන දිශාවත් එකිනෙකට ලම්බක ව පිහිටන පරිදි සකස් කර ඇත. එවිට චලනය සිදු වන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් ධාරාව ගලන දිශාවත් යන දිශා දෙකට ම ලම්බක ව බව ඔබට නිරීක්ෂණය කළ හැකි ය.
තල්ලුවක් ඇත්තේ ඇයි
පසුගිය පිටුවලින් පෙනෙන පරිදි BC හි ධාරාව කම්බිය වටා යන තමන්ගේ ම ක්ෂේත්‍රයක් ඇති කරයි. එම ක්ෂේත්‍රය හා චුම්බකයේ ක්ෂේත්‍රය කම්බියේ එක් පැත්තක එකතු වන අතර අනෙක් පැත්තේ අර්ධ වශයෙන් එකිනෙක අහෝසි කරයි. කම්බිය ප්‍රබල පැත්තේ සිට දුබල පැත්ත දෙසට තල්ලු වේ; මිරිකා පිටතට දමනවා වාගේ ය. ඕනෑම එක් ක්ෂේත්‍රයක් ප්‍රතිවිරුද්ධ කළ විට ප්‍රබල පැත්ත මාරු වන බැවින් තල්ලුව ප්‍රතිවිරුද්ධ වේ. දෙක ම ප්‍රතිවිරුද්ධ කළ විට තල්ලුව නොවෙනස් ව පවතී.
ක්ෂේත්‍රයක ඇති ධාරාවකට බලයක් දැනේ
චුම්බක ක්ෂේත්‍රයක් හරහා ධාරාවක් ගෙන යන කම්බියක් ඒ දෙකට ම ලම්බකව තල්ලු වේ. ධාරාව හෝ ක්ෂේත්‍රය ප්‍රතිවිරුද්ධ කිරීම තල්ලුව ප්‍රතිවිරුද්ධ කරයි.