Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

යකඩ මල බැඳීම පාලනය 2 වන පිටුව (3)

ද්විලෝහ ආචරණය

යකඩ විඛාදනය කෙරෙහි වෙනත් ලෝහවල බලපෑම කෙබඳු දැයි සොයාබැලීමට (ද්විලෝහ ආචරණය) පහත ක්‍රියාකාරකම සිදු කරමු.

ක්‍රියාකාරකම 12.3.7

අවශ්‍ය ද්‍රව්‍ය: පිරිසිදු කළ යකඩ ඇණ පහක්, ඒගාර් ජෙලි, සෝඩියම් ක්ලෝරයිඩ්, ෆිනෝල්ප්තැලීන් දර්ශකය, පොටෑසියම් ෆෙරිසයනයිඩ්, පෙට්‍රි දීසි, මැග්නීසියම්, සින්ක්, කොපර් හා ලෙඩ් ලෝහ පටි, ජලය

  1. සෝඩියම් ක්ලෝරයිඩ්, ෆිනෝල්ප්තැලීන්, පොටෑසියම් ෆෙරිසයනයිඩ් ස්වල්පයක් බැගින් ජලය 250 cm3කට පමණ එකතු කරන්න. එම ද්‍රාවණය නටවා එයට ඒගාර් ජෙලි තේ හැන්දක් පමණ එකතු කර හොඳින් කලතන්න.
  2. පෙට්‍රි දීසි පහක් ගන්න. පළමු දීසියට යකඩ ඇණයක් පමණක් දමන්න. මැග්නීසියම්, සින්ක්, කොපර් හා ලෙඩ් ලෝහ පටි ඉතිරි යකඩ ඇණ හතර සමඟ පටි තදින් ස්පර්ශ වන පරිදි තබාගන්න. ඒවා ඉතිරි පෙට්‍රි දීසි හතරට දමන්න.
  3. ඉන්පසු ඇණ සම්පූර්ණයෙන් වැසෙන පරිදි පෙට්‍රි දීසි පහට ම උණුසුම් ජෙලි මාධ්‍යය දමන්න. ඒවා සිසිල් වීමට තබා පැයකින් පමණ නිරීක්ෂණ කරන්න. නිරීක්ෂණ සටහන් කරන්න.

රූපයක් එක් කළ යුතුය

12.3.7 රූපය — ජෙලි සහිත පෙට්‍රි දීසි පහක්: 1 යකඩ ඇණය පමණි; 2 Fe/Mg; 3 Fe/Zn; 4 Fe/Cu; 5 Fe/Pb.

වර්ණ කියවීම

  • ෆිනෝල්ප්තැලීන් දර්ශකය, OH- අයන ඇති විට රෝස පැහැයට හැරේ.
  • Fe2+ අයන, පොටෑසියම් ෆෙරිසයනයිඩ් සමඟ නිල් පැහැයක් දෙයි.

2 හා 3 දීසි — මැග්නීසියම් හා සින්ක්

ඉහත 2 හා 3 පෙට්‍රි දීසිවල යකඩ ඇණ වටා රෝස පැහැය නිරීක්ෂණය වේ. එනම් යකඩ ඇණය අසල OH- අයන සෑදී ඇත. නිල් පැහැය ඇති නොවීමෙන් පෙනෙන්නේ Fe2+ අයන සෑදී නොමැති බවයි. 2 හා 3 පෙට්‍රි දීසිවල ඇත්තේ යකඩවලට වඩා සක්‍රියතාව වැඩි මැග්නීසියම් හා සින්ක් සම්බන්ධ කළ යකඩ ඇණ වේ. එනම් යකඩ ඇණ අසල සිදු වී ඇත්තේ කැතෝඩ ප්‍රතික්‍රියාවයි. මෙහි දී ඇනෝඩය ලෙස සක්‍රියතාව වැඩි මැග්නීසියම් හා සින්ක් ලෝහ ක්‍රියා කරයි; සෑදෙන Mg2+ අයන සහ Zn2+ අයන, මාධ්‍යයේ ඇති පොටෑසියම් ෆෙරිසයනයිඩ් සමඟ වර්ණයක් ඇති නො කරයි.

2H2O (l) + O2 (g) + 4e → 4OH- (aq)

Mg (s) → Mg2+ (aq) + 2e

Zn (s) → Zn2+ (aq) + 2e

කැතෝඩය, යකඩ අසල; ඇනෝඩය, මැග්නීසියම් හෝ සින්ක් අසල

4 හා 5 දීසි — කොපර් හා ලෙඩ්

4 හා 5 පෙට්‍රි දීසිවල යකඩ ඇණ වටා නිල් පාටක් ඇති වීමෙන් පෙනී යන්නේ Fe2+ අයන සෑදී ඇති බවයි. එනම් ඒවායේ ඇති යකඩ ඇණ විඛාදනය වී ඇති බවයි. එහිදී යකඩ ඇනෝඩය ලෙස ක්‍රියාකරමින් ඔක්සිකරණය වේ. කොපර් සහ ලෙඩ් සක්‍රියතා ශ්‍රේණියේ යකඩවලට වඩා පහළින් පිහිටා ඇත. එවැනි ලෝහයකට යකඩ සම්බන්ධ ව ඇති විට යකඩ මල බැඳේ. කොපර් සහ ලෙඩ් ලෝහ පටි වටා රෝස පාට වීමෙන් පෙනී යන්නේ ඒවා අසල OH- අයන සෑදී ඇති බවයි. එනම් කොපර් සහ ලෙඩ් අසල දී කැතෝඩ ප්‍රතික්‍රියාව සිදු වේ.

Fe (s) → Fe2+ (aq) + 2e

2H2O (l) + O2 (g) + 4e → 4OH- (aq)

ඇනෝඩය, යකඩ අසල; කැතෝඩය, කොපර් හෝ ලෙඩ් අසල

වඩා සක්‍රිය ලෝහය විඛාදනය වේ

වඩා සක්‍රිය ලෝහයක් (Mg, Zn) ස්පර්ශ වන යකඩ ආරක්ෂා වේ; අඩු සක්‍රිය ලෝහයක් (Cu, Pb) ස්පර්ශ වන යකඩ වේගයෙන් විඛාදනය වේ.