Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.0 හැඳින්වීම 1 වන පිටුව (5)

ජීවී සිරුරක ඇති රසායනය

ජීවීන් යනු කවුද?

ගෙවත්තේ ඇති පොල් ගස, පියඹා යන කුරුල්ලෙකු, පරණ වූ පාන් ගෙඩියක වැවෙන පුස් සහ ඇසට නොපෙනෙන බැක්ටීරියා — මේ සියල්ල ජීවීන් ය. පහළ පන්තිවල දී අප ඔවුන් කාණ්ඩවලට බෙදා හඳුනා ගත් ආකාරය ඔබට මතක ද?

ජීවීන් කාණ්ඩවලට බෙදා ඇති ආකාරය

මේ ජීවීන්ගේ සිරුරු තැනී ඇත්තේ කුමකින් දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේ ද?

ගසක කොළයක් හෝ ඔබේ ම නියපොත්තක් ඉතා විශාල කර බැලුවොත් අවසානයේ හමු වන්නේ රසායනික සංයෝග ය. ඒ සෑම සංයෝගයක් ම තැනී ඇත්තේ මූලද්‍රව්‍ය කිහිපයක් එකිනෙක විවිධ ආකාරවලින් බැඳීමෙනි. එනම් ජීවීන් ද, ජීවී නොවන දේ මෙන් ම, මූලද්‍රව්‍යවලින් සෑදුණු දේවල් ය.

විද්‍යාඥයන් විසින් මේ වන විට මූලද්‍රව්‍ය 118ක් පමණ සොයාගෙන ඇත. එයිනුත් ස්වභාවයේ ස්ථාවර ව පවතින (නිර්මාණය නොකළ) මූලද්‍රව්‍ය 92ක් පමණ හමු වේ. ජීවී සිරුරු තැනීමට ඉන් යොදා ගැනෙන්නේ 25ක් පමණි. එම මූලද්‍රව්‍ය සිරුරේ එක තැනක එකතු වී නැත. ඒවා අස්ථි, රුධිරය, පේශි වැනි විවිධ කොටස්වල විවිධ සංයෝග ලෙස විසිරී පවතී.