Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.5. ඉපිලීම සහ උඩුකුරු තෙරපුම 1 වන පිටුව (6)

සමහර දෑ පාවෙන්නේ, සමහර දෑ ගිලෙන්නේ ඇයි?

ජල බඳුනකට ගල් කැටයක් දැමූ විට එය ගිලෙන බවත්, ලෑලි කැබෙල්ලක් වැනි දෙයක් දැමූ විට එය ජලයේ පාවෙන බවත් අපි දනිමු.

එහෙත් ඇයි? ගල මෙන් ම ලෑල්ල ද ඝන වස්තුවකි; දෙකෙහි ම බර පහළට ක්‍රියා කරයි. එසේ නම්, එකක් ගිලී අනෙක පාවෙන්නේ කවර විද්‍යාත්මක මූලධර්මයක් නිසා ද?

සොයා බැලිය යුතු කරුණු

  • ජලය තුළ වස්තුවක් මත ඉහළට යොදන බලයක් තිබේ ද?
  • තිබේ නම්, එහි විශාලත්වය තීරණය වන්නේ කෙසේ ද?
  • එම බලය සහ වස්තුවේ බර අතර සම්බන්ධය කුමක් ද?

පළමු ඉඟිය අත්දැකීමෙන් ම

ලෑලි කැබෙල්ලක් වැනි ජලයේ පාවෙන වස්තුවක් ජලය මත තබා දෑතින් තෙරපාගෙන සිටින විට, උඩුකුරු අතට ජලයෙන් යෙදෙන බලයක් අපේ අතට දැනේ.

ජලයේ ගිලෙන වස්තුවක වුව ද, ජලය තුළ දී අපට දැනෙන බර වාතයේ දී එහි බරට වඩා අඩු වේ. බාල්දියක් ළිඳක් තුළ සිටින විට සැහැල්ලු ව දැනී, ජලයෙන් පිටතට ගත් විට බර වීම මෙයට හොඳ ම උදාහරණය යි.

නමක් තැබීම

මෙසේ වන්නේ ජලයේ ගිල්වා ඇති වස්තුවක් මත ජලය මගින් ඉහළට බලයක් යොදන නිසා ය. මෙම බලය උඩුකුරු තෙරපුම (upthrust) නමින් හැඳින්වේ.

ජලය පමණක් නොව ඕනෑ ම තරලයක් තුළ ගිලී ඇති වස්තු මත උඩුකුරු තෙරපුම ඇති කරයි — වාතය පවා.