Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.5. ඉපිලීම සහ උඩුකුරු තෙරපුම 2 වන පිටුව (6)

උඩුකුරු තෙරපුම

උඩුකුරු තෙරපුම යනු තරලයක් තුළ ගිලී ඇති වස්තුවක් මත එම තරලය විසින් ඉහළට යොදනු ලබන බලය යි.

උඩුකුරු තෙරපුම

ජලය පමණක් නොව ඕනෑ ම තරලයක් එහි ගිලී ඇති වස්තු මත උඩුකුරු තෙරපුම ඇති කරයි. එය සිරස් ව ඉහළට ක්‍රියා කරයි.

එය එන්නේ කොහෙන් ද?

පිළිතුර මේ පරිච්ඡේදයේ මුල් කොටසේ ම ඇත: ගැඹුර වැඩි වත් ම ද්‍රව පීඩනය වැඩි වේ. ජලයේ ගිල්වා ඇති වස්තුවක යට මුහුණත එහි උඩු මුහුණතට වඩා ගැඹුරින් ඇති බැවින්, යට මුහුණත මත යෙදෙන පීඩනය වැඩි ය.

බල දෙකේ වෙනස

උඩු මුහුණත මත පහළට යෙදෙන බලය — අඩු පීඩනයකින්.

යට මුහුණත මත ඉහළට යෙදෙන බලය — වැඩි පීඩනයකින්.

එබැවින් ඉහළට යෙදෙන බලය වැඩි වන අතර, ඒ දෙකේ වෙනස ඉහළට ක්‍රියා කරන සම්ප්‍රයුක්තයකි — එය ම උඩුකුරු තෙරපුම යි.

දෘශ්‍ය බර

ජලය තුළ දී වස්තුවක බර අඩු වන්නේ නැත — වෙනස් වන්නේ දෘශ්‍ය බර ය. වස්තුවේ ස්කන්ධය හෝ බර වෙනස් නොවේ; තරාදිය පෙන්වන්නේ බර සහ උඩුකුරු තෙරපුම අතර වෙනස ය.

ඊළඟ පිටු දෙකේ දී මෙය දුනු තරාදියකින් ම පෙන්වා, ඉන්පසු එහි විශාලත්වය මනිමු.