Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 13 පරිච්ඡේදය — ජෛව ලෝකය

13.1. අපෘෂ්ඨවංශීන් 3 වන පිටුව (6)

ඇනෙලිඩා — සබණ්ඩ පණුවන්

සීලෝමය නැමති දේහ කුහරය මුලින් ම විකසනය වූ සත්ත්ව වංශය යි. සබණ්ඩ පණුවන් වන ගැඩවිලා, කූඩැල්ලා සහ පත්තෑපණුවා (Nereis) වැනි සතුන් මෙයට අයත් වේ.

රූපයක් එක් කළ යුතුය

13.18 රූපය — ඇනෙලිඩා විශේෂ කිහිපයක්: පත්තෑපණුවා, ගැඩවිලා සහ කූඩැල්ලා.
  • තෙතමනය සහිත ගොඩබිම, කරදිය හා මිරිදිය පරිසරවල වාසය කරයි.
  • බහුසෛලික දේහය සෛල ස්තර තුනකින් ගොඩනැගී ඇති නිසා ත්‍රිප්‍රස්තරයින් ලෙස හැඳින්වේ.
  • සිහින් දිග පණු ආකාර දේහ දරයි. දේහය බාහිරව ද අභ්‍යන්තරව ද සමාන ඛණ්ඩවලට බෙදී ඇති නිසා සබණ්ඩ පණුවන් ලෙස හැඳින්වේ.
  • දේහය ද්විපාර්ශවික සමමිතියක් දක්වයි.
  • දේහය තුළ ශරීර බිත්තිය හා අන්ත්‍රය අතර තරලයක් සහිත කුහරයක් පවතී. එය සීලෝමය (coelome) නම් වේ. මේ මගින් දේහ චලනවලදී ආහාර මාර්ගයට බලපෑමක් ඇති වීම වලක්වයි.
  • සමහර සතුන් අලිංගික ප්‍රජනනය ද සමහර සතුන් ලිංගික ප්‍රජනනය ද සිදු කරයි.

රූපයක් එක් කළ යුතුය

13.19 රූපය — ඇනෙලිඩාවකුගේ බාහිර ව්‍යූහය: මෙවුල, බණ්ඩ, දැඩි කෙඳිති සහ සංසේචිත ඩිම්බ.

සීලෝමය ඇයි වැදගත් වන්නේ?

ශරීර බිත්තිය හා අන්ත්‍රය අතර තරල කුහරයක් තිබීමෙන් සතා චලනය වන විට ආහාර මාර්ගය පොඩි නොවේ. එනම් පණුවෙකුට එකවර ම හාරමින් හා ආහාර දිරවමින් සිටිය හැකි ය.