Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.6. ලෝහ, අලෝහ සහ ලෝහාලෝහ 6 වන පිටුව (10)

නයිට්‍රජන්

නයිට්‍රජන් (Nitrogen, N) වායු ගෝලයේ පවතින්නේ නිදහස් ද්විපරමාණුක වායුවක් (diatomic gas) ලෙස ය; එය විශාල ප්‍රමාණයකි: වාතයේ පරිමාවෙන් 78.1% ක් පමණ.

සත්ත්ව හා ශාක ප්‍රෝටීනවල සංඝටක මූලද්‍රව්‍යයක් ලෙස නයිට්‍රජන් අඩංගු ය. පාංශු වාතයේ සංඝටකයක් ලෙස ද, හියුමස් වැනි කාබනික ද්‍රව්‍යවල ද, නයිට්‍රේට, නයිට්‍රයිට, ඇමෝනියම් සංයෝග ආදියේ ද එය පවතී.

භෞතික ගුණ

  • වර්ණයක් හෝ ගන්ධයක් හෝ නැත.
  • දහන අපෝෂක වායුවකි. වාතයට වඩා මඳක් සැහැල්ලු ය.
  • ජලයේ සුළු වශයෙන් දිය වේ.

රසායනික ගුණ

  • ප්‍රතික්‍රියතාව ඉතා අඩු වායුවකි. එහෙත් ඉතා ඉහළ උෂ්ණත්වවල දී නයිට්‍රජන් වායුව ඔක්සිජන්, හයිඩ්‍රජන්, කාබන්, සිලිකන් වැනි අලෝහ සමඟ මෙන් ම මැග්නීසියම්, ඇලුමිනියම් වැනි ලෝහ මූලද්‍රව්‍ය සමඟ ද ප්‍රතික්‍රියා කරයි.
  • ප්‍රබල විද්‍යුත් චාපයක් හමුවේ වාතයේ ඇති ඔක්සිජන් සමඟ නයිට්‍රජන් සංයෝජනය වී අස්ථායි නයිට්‍රික් ඔක්සයිඩ් වායුව සෑදේ. එය තවදුරටත් ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා වී ආම්ලික වායුවක් වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් සෑදේ. අකුණු ගැසීමේ දී මෙම ක්‍රියාවලිය ස්වාභාවික ව සිදු වේ.
  • විශේෂිත තත්ත්ව යටතේ දී නයිට්‍රජන් හයිඩ්‍රජන් සමඟ ප්‍රතික්‍රියා කර ඇමෝනියා වායුව සාදයි. කාර්මික වශයෙන් ඇමෝනියා නිපදවනු ලබන්නේ මෙම ක්‍රමයෙනි; එය නයිට්‍රජන් අඩංගු පොහොර හා පුපුරන ද්‍රව්‍ය නිපදවීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත වේ.
  • මැග්නීසියම් වැනි ලෝහ නයිට්‍රජන් වායුව සමඟ රත් කිරීමේ දී ප්‍රතික්‍රියා වී ලෝහයේ නයිට්‍රයිඩය සාදයි.

භාවිත

  • කාර්මික වශයෙන් ඇමෝනියා නිපදවීමට හා රසායනික පොහොර නිපදවීමට.
  • අක්‍රිය වායුවක් නිසා විදුලි ලාම්පු, උෂ්ණත්වමාන ආදිය පිරවීමට.
  • ඉලෙක්ට්‍රොනික උපාංග සෑදීමේ දී සියුම් ලෝහ කොටස් ඔක්සිජන් සමඟ ගැටීම වැළැක්වීම සඳහා නයිට්‍රජන් වායු පරිසරයක් භාවිත කිරීම.
  • ප්‍රතික්‍රියාශීලී රසායන ද්‍රව්‍ය ගබඩා කිරීමේ දී ආවරණ වායුවක් (blanketing gas) ලෙස. කිරිපිටි පැකට් ඇසිරීමේ දී ඒවා තුළ අඩංගු කර ඇත්තේ නයිට්‍රජන් වායුවයි.
  • ද්‍රව නයිට්‍රජන් අධි සිසිලන කාරකයක් ලෙස.
  • වාහනවල ටයර්වලට පිරවීමට.