Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.6. ලෝහ, අලෝහ සහ ලෝහාලෝහ 8 වන පිටුව (10)

කාබන්

කාබන් (Carbon, C) බහුල වශයෙන් පවතින අලෝහ මූලද්‍රව්‍යයකි. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙස ද, සත්ත්ව හා ශාක පටකවල ද, සියලු ම කාබනික සංයෝගවල ද, ගල් අඟුරු, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා වෙනත් හයිඩ්‍රොකාබනවල ද ප්‍රධාන තැනුම් ඒකකය කාබන් ය.

ස්ඵටිකරූපී හා අස්ඵටිකරූපී

කාබන්වල ස්ඵටිකරූපී (crystalline) ආකාර මෙන් ම අස්ඵටිකරූපී (amorphous) ආකාර ද ඇත. ස්ඵටිකරූපී ආකාරවල පරමාණු නිශ්චිත රටාවකට පිහිටා ඇත; අස්ඵටිකරූපී ආකාරවල එවන් නිශ්චිත රටාවක් නැත. බහුරූපීතාව දක්වන්නේ ස්ඵටිකරූපී ආකාර ය.

  • ස්ඵටිකරූපී කාබන් — දියමන්ති, මිනිරන්, ෆුලරීන්
  • අස්ඵටිකරූපී කාබන් — අඟුරු, ලාම්පු දැලි, ගල් අඟුරු

රූපයක් එක් කළ යුතුය

3.15 රූපය: දියමන්ති හා මිනිරන් අසල අසල — විනිවිද පෙනෙන ස්ඵටිකය හා දීප්තිය අඩු කළු ඝන ද්‍රව්‍යය.

භෞතික ගුණ

ඒ ඒ කාබන් ස්වරූපය අනුව මේවා වෙනස් වේ. දියමන්ති හැර අනෙකුත් කාබන් ස්වරූප කළු පැහැති ය; ඝන අවස්ථාවේ පවතී; ඝනත්වය සාපේක්ෂ ව අඩු ය. එහෙත් වැඩි ම ඝනත්වයක් ඇති කාබන් ස්වරූපය දියමන්ති ය. ඉහළ වර්තනාංකය හා දැඩි බව යන ගුණ නිසා දියමන්තිවලට විශාල වටිනාකමක් ලැබී ඇත. දියමන්ති විද්‍යුත් කුසන්නායක ද්‍රව්‍යයකි; එහෙත් මිනිරන් විද්‍යුත් සන්නායකයකි. අඟුරුවලට වායු වර්ග අධිශෝෂණය (adsorption) කර ගැනීමේ හැකියාව ඇත.

රසායනික ගුණ

  • කාබන් ප්‍රතික්‍රියාශීලී බවෙන් අඩු මූලද්‍රව්‍යයකි. ඉතා ඉහළ උෂ්ණත්වවල දී ඔක්සිජන් සමඟ සංයෝජනය වන අතර, අම්ල, භස්ම, ක්ලෝරීන් යනාදිය සමඟ ප්‍රතික්‍රියාවක් නොදක්වයි. අඟුරු වැනි අස්ඵටික ආකාර රසායනික ව ප්‍රතික්‍රියා කරයි.
  • අඟුරු තදින් රත් කර ජ්වලනය කළ විට ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා වී කාබන් ඩයොක්සයිඩ් වායුව සාදයි.
  • ඉහළ උෂ්ණත්වයේ දී කාබන්, කැල්සියම් ඔක්සයිඩ් සමඟ ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබයිඩ් සාදයි.

භාවිත අවස්ථා

කාබන් ස්වරූපය ප්‍රයෝජන
අස්ඵටික කාබන් කළු පාට තීන්ත වර්ග නිපදවීම; රබර්වල පිරවුම්කාරකයක් ලෙස
ගල් අඟුරු ඉන්ධනයක් ලෙස
මිනිරන් පැන්සල් නිෂ්පාදනය; විදුලි කෝෂවල ඉලෙක්ට්‍රෝඩ සෑදීම; ස්නේහකයක් ලෙස යෙදීම
දියමන්ති ආභරණ සෑදීම; මැණික් කැපීම හා වීදුරු කැපීම; යන්ත්‍රසූත්‍රවල හා තරාදි ආදියේ ගෙවී යන තැන්වල විවර්තනි ලෙස
අඟුරු වායු අවශෝෂණය; ජලය පිරිසිදු කිරීම
නැනෝ පරිමාණයේ කාබන් තන්තු හා කාබන් නාල නැනෝ ද්‍රව්‍ය යොදා සවිබල ගැන්වූ භාණ්ඩ නිෂ්පාදනය; කාබන් තන්තු ඉතාමත් සැහැල්ලු වන අතර අධික ශක්තියකින් යුක්ත ය

3.5 වගුව — කාබන්වල ප්‍රයෝජන සමහරක්.