Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — චලිතය පිළිබඳ නිව්ටන් නියම

නිව්ටන්ගේ දෙවන නියමය 3 වන පිටුව (4)

ට්‍රොලියකින් පරීක්ෂා කිරීම

දෙවන නියමයේ භාග දෙක ම සරල පරීක්ෂණයකින් තහවුරු කර ගත හැකි ය.

රූපයක් එක් කළ යුතුය

තිරස් මේසයක් මත ට්‍රොලියක්. එක් අවස්ථාවක ට්‍රොලියට රබර් පටියක් සම්බන්ධ කර අදින අතක් ද, අනෙක් අවස්ථාවේ රබර් පටි දෙකක් එක ම ප්‍රමාණයට ඇද ඇති අයුරු ද පෙන්වා ඇත.

පළමු කොටස — බලය වෙනස් කිරීම

  1. තිරස් මේසයක් මත ට්‍රොලියක් තබා එයට රබර් පටියක් සම්බන්ධ කරන්න.
  2. රබර් පටියේ නිදහස් කෙළවර අල්ලා, එය ට්‍රොලියේ අනෙක් කෙළවර දක්වා ඇදෙන පරිදි අදින්න.
  3. රබර් පටියේ ඇදුණු කොටස නොවෙනස් ව පවතින පරිදි ට්‍රොලිය සමඟ අත චලනය කරන්න.
  4. ට්‍රොලිය ත්වරණයෙන් චලනය වන බව නිරීක්ෂණය කරන්න.

දැන් සමාන රබර් පටි දෙකක් සම්බන්ධ කර, දෙක ම පළමු ප්‍රමාණයට ම ඇද පරීක්ෂණය නැවත කරන්න. යෙදෙන බලය දෙගුණයකි. පසුව සමාන පටි තුනක් යොදන්න — බලය තුන් ගුණයකි.

නිරීක්ෂණය

පටි ගණන වැඩි කරන සෑම වතාවක ම ට්‍රොලියේ ත්වරණය ද වැඩි වේ.

එනම් a ∝ F.

දෙවන කොටස — ස්කන්ධය වෙනස් කිරීම

  1. ට්‍රොලිය මත යම් ස්කන්ධයක් තබන්න.
  2. එක් රබර් පටියක් පමණක් යොදා, පෙර ප්‍රමාණයට ම ඇද පරීක්ෂණය නැවත කරන්න.
  3. තවත් ස්කන්ධයක් එකතු කර නැවත කරන්න.

නිරීක්ෂණය

ස්කන්ධය එකතු කරන සෑම වතාවක ම ත්වරණය අඩු වේ — යෙදෙන බලය නොවෙනස් වුව ද.

එනම් a ∝ 1 ÷ m.

රබර් පටිය එක ම ප්‍රමාණයට ඇදිය යුත්තේ ඇයි?

රබර් පටියක් ඇදෙන ප්‍රමාණය එයින් යෙදෙන බලය පෙන්වයි. ඇදුම එක ම නම් බලය ද එක ම ය. පරීක්ෂණයේ දී එකවර එක් දෙයක් පමණක් වෙනස් වන බව සහතික කර ගැනීමට එය අවශ්‍ය ය.