ප්‍රතික්‍රියා වර්ග කිරීම
දැන් අභ්‍යාසයේ ප්‍රතික්‍රියා පහ එකින් එක වර්ග කරමු. සෑම එකක් සඳහා ම කලින් පිටුවේ ප්‍රශ්න දෙක යොදමු.
ගැටලුව
පහත දැක්වෙන ප්‍රතික්‍රියා රසායනික සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන සහ ද්විත්ව විස්ථාපන වශයෙන් වෙන් කර දක්වන්න.
I. 4Na + O2 → 2Na2O
II. 2Ag2CO3 → 4Ag + 2CO2 + O2
III. Zn + H2SO4 → ZnSO4 + H2
IV. NaCl + AgNO3 → AgCl + NaNO3
V. 2Na + 2H2O → 2NaOH + H2
විසඳුම
I — සංයෝජනය. දකුණු පස ඇත්තේ එක ම ද්‍රව්‍යයකි (Na2O), එබැවින් මෙය සංයෝජන ප්‍රතික්‍රියාවකි.
II — වියෝජනය. වම් පස ඇත්තේ එක ම ද්‍රව්‍යයකි (Ag2CO3), එබැවින් මෙය වියෝජන ප්‍රතික්‍රියාවකි.
III — ඒක විස්ථාපනය. වම් පස Zn තනි මූලද්‍රව්‍යයක් ලෙස ද දකුණු පස H2 තනි මූලද්‍රව්‍යයක් ලෙස ද ඇත, එබැවින් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවකි.
IV — ද්විත්ව විස්ථාපනය. පැති දෙකේ ම ඇත්තේ සංයෝග පමණි; Na සහ Ag ස්ථාන මාරු කර ගෙන ඇත. එබැවින් ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවකි.
V — ඒක විස්ථාපනය. වම් පස Na ද දකුණු පස H2 ද තනි මූලද්‍රව්‍ය ය. සෝඩියම්, ජලයේ ඇති හයිඩ්‍රජන් විස්ථාපනය කර ඇත — එබැවින් ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවකි.
V ගැන පරිස්සම් වන්න
V හි ප්‍රතික්‍රියක දෙකක් සහ ඵල දෙකක් ඇති නිසා එය ද්විත්ව විස්ථාපනයක් යැයි සිතීම පහසු ය. එහෙත් තීරණාත්මක ලකුණ ගණන නොව තනි මූලද්‍රව්‍යයක් තිබේ ද යන්න ය — මෙහි Na සහ H2 දෙක ම තනි ය.