Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.2. භස්ම 1 වන පිටුව (3)

භස්මයක් යනු කුමක් ද

ඔබ ඉහත 7.1 පැවරුම යටතේ සකස් කළ වගුවේ භස්ම යටතේ වර්ග කළ ද්‍රව්‍ය පිළිබඳ අවධානය යොමු කරන්න. මිල්ක් ඔෆ් මැග්නීසියා, දත් බෙහෙත්, සබන්, හුනු ආදිය භස්මවලට උදාහරණ වේ.

බොහෝ භස්ම ඝන ද්‍රව්‍ය ලෙස හමු වන අතර ඇමෝනියා භාස්මික ගුණ පෙන්වන වායුවකි. විද්‍යාගාර පරීක්ෂණවල දී භස්ම ජලයේ දිය කර සාදා ගත් ජලීය ද්‍රාවණ භාවිත වේ. විද්‍යාගාරයේ දී බහුල ව භාවිත කෙරෙන භස්ම ලෙස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH), පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH) හා ඇමෝනියා ද්‍රාවණය (NH4OH) දැක්විය හැකි ය.

රූපයක් එක් කළ යුතුය

7.3 රූපය — සුලභ ව භාවිත වන භස්ම කිහිපයක්: සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හා මිල්ක් ඔෆ් මැග්නීසියා.

භස්මය

භස්මයක් යනු ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් (OH-) අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝගයකි.

නිදසුනක් ලෙස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH) ජලීය ද්‍රාවණයේ දී පහත දැක්වෙන ආකාරයට අයනීකරණය වී එහි OH- සාන්ද්‍රණය ඉහළ නැංවීමට දායක වේ.

NaOH (aq) → Na+ (aq) + OH- (aq)