Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

පරිච්ඡේදය එකට ගැළපීම 1 වන පිටුව (3)

පරිච්ඡේදයේ සාරාංශය

මුළු පරිච්ඡේදය ම එක් ලැයිස්තුවකින්.

විද්‍යුත් - රසායනික කෝෂ

  • රසායනික ශක්තිය, විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීමට විද්‍යුත් - රසායනික කෝෂ භාවිත කරනු ලැබේ.
  • වෙනස් ලෝහ කූරු දෙකක් එකිනෙකට සන්නායක කම්බි මගින් සම්බන්ධ කර අම්ල ද්‍රාවණයක ගිල්වීමෙන් සරල කෝෂයක් සාද ගත හැකි ය.
  • සරල විද්‍යුත් - රසායනික කෝෂයක වඩා සක්‍රිය ලෝහය ඇනෝඩය ලෙසද, සක්‍රියතාව අඩු ලෝහය කැතෝඩය ලෙස ද ක්‍රියා කරයි.
  • ඇනෝඩයේ දී ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදු වන අතර, කැතෝඩයේදී ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදු වේ.
  • විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩය ඍණ අග්‍රය වන අතර කැතෝඩය ධන අග්‍රය වේ.
  • ඉලෙක්ට්‍රෝන ධාරාව, කම්බිය ඔස්සේ ඇනෝඩයේ සිට කැතෝඩය වෙත ගමන් කරයි.
  • සම්මත ධාරාව, ධන අග්‍රයේ (කැතෝඩයේ) සිට ඍණ අග්‍රය (ඇනෝඩය වෙත) වෙත ගමන් කරන ලෙස සැලකේ.

විද්‍යුත් - විච්ඡේදනය

  • විද්‍යුතය සන්නයනය කරන ද්‍රාවණයක්/ද්‍රවයක් ඔස්සේ විද්‍යුත් ධාරාවක් යැවීමෙන් පදාර්ථවල රසායනික විපර්යාස ඇති කිරීම විද්‍යුත් - විච්ඡේදනය නම් වේ.
  • මෙහි දී බාහිර විද්‍යුත් සැපයුමක්, කාබන් හෝ ලෝහ ඉලෙක්ට්‍රෝඩ දෙකකට සම්බන්ධ කර එම ඉලෙක්ට්‍රෝඩ ද්‍රාවණයේ ගිල්වීමෙන් ද්‍රාවණය/ද්‍රව්‍ය හරහා විද්‍යුතය යවනු ලැබේ.
  • විද්‍යුතය ගමන් කරන ද්‍රවය/ද්‍රාවණය විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස හැඳින්වේ. විද්‍යුතය සන්නයනය කිරීම සඳහා විද්‍යුත් විච්ඡේද්‍යය තුළ චලනය විය හැකි අයන තිබිය යුතු ය.
  • විද්‍යුත් - විච්ඡේදන කෝෂයේ ධන අග්‍රය ඇනෝඩය ලෙස ක්‍රියාකරන බැවින්, ධන අග්‍රය අසල ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවක් සිදු වේ.
  • ඉලෙක්ට්‍රෝඩ අසල සෑදෙන ඵල මගින්, විවිධ ප්‍රයෝජනවත් නිෂ්පාදන සිදු කිරීම, විද්‍යුත් - විච්ඡේදනයේ කාර්මික භාවිතයකි.
  • කාර්මිකව සෝඩියම් ලෝහය ලබාගන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් - විච්ඡේදනය කිරීමෙනි. එහි දී ලැබෙන අතුරු ඵල වන ක්ලෝරීන් වායු ද වෙනත් ප්‍රයෝජනවත් කටයුතු සඳහා භාවිත වේ.

විඛාදනය හා මල බැඳීම

  • ලෝහයක් වායුගෝලයට හා තෙතමනයට නිරාවරණය වීමෙන් එහි පෘෂ්ඨය රසායනික ව විපර්යාසයට ලක්වීම ලෝහ විඛාදනය නම් වේ. යකඩ හා වානේ ඉහත ආකාරයට විඛාදනයට ලක්වීම සුවිශේෂීව මල බැඳීම ලෙස හැඳින්වේ.
  • යකඩ මල බැඳීම සඳහා ඔක්සිජන් වායුව හා තෙතමනය අත්‍යවශ්‍ය වේ.
  • යකඩ විඛාදනය වීම විද්‍යුත් - රසායනික ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලියේ ඇනෝඩ ප්‍රතික්‍රියාව Fe (s) → Fe2+ (aq) + 2e වන අතර කැතෝඩ ප්‍රතික්‍රියාව 2H2O (l) + O2 (g) + 4e → 4OH- (aq) වේ.
  • සම්පූර්ණ විඛාදන ප්‍රතික්‍රියාව ඉහත ඇනෝඩ හා කැතෝඩ ප්‍රතික්‍රියා මගින් ලබා ගත හැකි ය: 2H2O (l) + O2 (g) + 2Fe → 2Fe(OH)2 (s). Fe(OH)2 තවදුරටත් ඔක්සිකරණය වීමෙන් සජල ෆෙරික් ඔක්සයිඩ් (Fe2O3.H2O) හෙවත් මලකඩ ඇති වේ.
  • අම්ල සහ සෝඩියම් ක්ලෝරයිඩ් වැනි ලවණ මල බැඳීමේ වේගය වැඩි කරයි. භස්ම, මල බැඳීමේ වේගය අඩු කරයි.
  • මල බැඳීමට අත්‍යවශ්‍ය සාධක වන ඔක්සිජන් හා තෙතමනය සමඟ නොගැටෙන පරිදි යකඩ තබා ගැනීමෙන් මල බැඳීම වළක්වා ගත හැකි ය. මේ සඳහා ආරක්ෂක පටලයක් ලෙස තීන්ත, ග්‍රීස් හෝ ටින් ලෝහය යකඩ මත ආලේප කළ හැකි ය.
  • යකඩවලට වඩා සක්‍රිය ලෝහයක්, යකඩවලට සම්බන්ධ ව ඇති විට සක්‍රිය ලෝහය ඇනෝඩය ලෙස ද, යකඩ කැතෝඩය ලෙසද ක්‍රියාකරන නිසා මල බැඳීම වළකී. මෙම ක්‍රමය, කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය නම් වේ. යකඩ ගැල්වනයිස් කිරීම, කැප කිරීමේ ආරක්ෂණ ක්‍රමය සඳහා නිදසුනකි.

පෙළපොතේ සාරාංශයේ මලකඩ සූත්‍රය Fe2O3.H2O ලෙස ලියා ඇත; ජල ප්‍රමාණය වෙනස් වන බැවින් Fe2O3.xH2O වඩා නිවැරදි බව එහි පෙළේ පැහැදිලි කරයි.