Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

පරිච්ඡේදය එකට ගැළපීම 1 වන පිටුව (3)

පරිච්ඡේදයේ සාරාංශය

සමස්ත පරිච්ඡේදය එක් ලැයිස්තුවක.

  • තල දර්පණ සහ වක්‍ර දර්පණ යනුවෙන් දර්පණ වර්ග දෙකකි. වක්‍ර දර්පණ නැවත අවතල හා උත්තල වශයෙන් වර්ග දෙකකට බෙදිය හැකි ය.
  • තල දර්පණ ඉදිරියෙන් තැබූ වස්තුවකින් සෑදෙන ප්‍රතිබිම්බ අතාත්ත්වික ය සමාන ප්‍රමාණයෙන් යුක්ත ය. උඩුකුරු ය.
  • පතන කිරණයත්, පරාවර්තන කිරණයත් අභිලම්බයත් යන මේවා එක ම තලයක පිහිටයි.
  • තල දර්පණවලින් ප්‍රතිබිම්බ සෑදෙන විට පතන කෝණයත්, පරාවර්තන කෝණයත් සමාන වේ.
  • උත්තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් කවර තැනක තබා ඇතත්, සෑදෙන ප්‍රතිබිම්බ කුඩා ය, උඩුකුරු ය, අතාත්ත්වික ය.
  • එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක් වෙත ආලෝකය ගමන් කිරීමේ දී ආලෝක කිරණවල සිදුවන දිශා වෙනස් වීම (නැමීම) ආලෝක වර්තනය ලෙස හැඳින්වේ.
  • විරල මාධ්‍යයක සිට ඝනතර මාධ්‍යයක් වෙත ආලෝකය ගමන් කිරීමේ දී වර්තනය වනුයේ අභිලම්බය දෙසට ය. ඝනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයක් වෙත ගමන් කිරීමේ දී වර්තනය සිදුවන්නේ අභිලම්බයෙන් ඉවතට යි.
  • පතන කිරණයත්, වර්තන කිරණයත් පතන ලක්ෂ්‍යයේ අභිලම්බයත් යන මේවා, එක ම තලයක පිහිටයි.

වර්තනාංකය

n = sin i ÷ sin r

  • ඝනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයක් වෙත ආලෝකය ගමන් කරන අවස්ථාවක දී පතන කෝණයේ යම් අගයක දී වර්තන කිරණය මාධ්‍ය දෙක හමුවන පෘෂ්ඨය දිගේ ගමන් කරයි. එම අවස්ථාවේ දී පතන කෝණය අවධි කෝණය ලෙස හැඳින්වේ.
  • පතන කෝණය අවධි කෝණයට වඩා වැඩි වූ විට ආලෝක කිරණය ඝනතර මාධ්‍යය තුළට ම පරාවර්තනය වීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ.
  • ප්‍රකාශ තන්තු තුළින් ආලෝකය ගමන් කරන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙමිනි.
  • ද්වි උත්තල කාච, ද්වි අවතල කාච, තල උත්තල කාච, තල අවතල කාච ආදී වශයෙන් කාච වර්ග කිහිපයකි.
  • ද්වි අවතල කාචයක් ඉදිරියේ වස්තුවක් කවර තැනක තිබුණත් සෑදෙන ප්‍රතිබිම්බ කුඩා ය. උඩුකුරු ය. අතාත්ත්වික ය.