Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

පරිච්ඡේදය එකට ගැළපීම 1 වන පිටුව (3)

පරිච්ඡේදයේ සාරාංශය

මුළු පරිච්ඡේදය ම එක් ලැයිස්තුවකින්.

  • ජලීය ද්‍රාවණයේ දී H+ අයන මුදා හරින රසායනික සංයෝග, අම්ල ලෙස හැඳින්වේ.
  • ජලීය ද්‍රාවණයක OH- අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝග භස්ම ලෙස හැඳින්වේ.
  • අම්ලයක් හා භස්මයක් ප්‍රතික්‍රියා කර ලවණයක් හා ජලය සාදයි.
  • ජලීය ද්‍රාවණයේ දී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H+ අයන මුදා හරින අම්ල ප්‍රබල අම්ල ලෙස ද, භාගික වශයෙන් අයනීකරණයට ලක් වෙමින් H+ අයන මුදා හරින අම්ල දුබල අම්ල ලෙස ද හැඳින්වේ.
  • ජලීය ද්‍රාවණයේ දී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් OH- අයන සාන්ද්‍රණය ඉහළ නංවන භස්ම ප්‍රබල භස්ම ලෙස ද, භාගික ව අයනීකරණ වී OH- අයන සාන්ද්‍රණය ඉහළ නංවන භස්ම දුබල භස්ම ලෙස ද හැඳින්වේ.
  • අම්ල හා භස්ම යන දෙක ම දර්ශක සමග වර්ණ විපර්යාසය ඇතිකරයි.
  • අම්ලයක් පහළ pH අගයක් ගන්නා අතර භස්මයක් ඉහළ pH අගයක් දක්වයි.
  • අම්ල බොහෝ ලෝහ සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව මුක්ත කරයි. අම්ල, කාබනේට හෝ බයිකාබනේට සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව මුක්ත කරයි.
  • ලවණයක් ආම්ලික හෝ භාස්මික හෝ උදාසීන ලක්ෂණ පෙන්වයි. එය රඳා පවතින්නේ ලවණය සෑදීම සඳහා දායක වූ අම්ලයේ හෝ භස්මයේ ප්‍රබලතාව අනුව ය.

H+ (aq) + OH- (aq) → H2O (l)

  • අම්ල භස්ම අතර ප්‍රතික්‍රියාවේ දී අම්ලය මුදා හරින H+ අයන භස්මය මුදාහරින OH- අයන සමඟ සම්බන්ධ වී ජල අණු සෑදීම උදාසීනීකරණය ලෙස හැඳින්වේ.
  • හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, ඇසිටික් අම්ලය විවිධ කටයුතු සඳහා සුලභ ව භාවිත වන අම්ල කිහිපයකි.
  • සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විවිධ කටයුතු සඳහා භාවිත වන භස්ම වර්ග දෙකකි.
  • සෝඩියම් ක්ලෝරයිඩ් හා කොපර් සල්ෆේට් විවිධ කටයුතු සඳහා භාවිත වන ලවණ වර්ග දෙකකි.