Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

පරිච්ඡේදය එකට ගැළපීම 1 වන පිටුව (3)

පරිච්ඡේදයේ සාරාංශය

මුළු පරිච්ඡේදය ම එක් ලැයිස්තුවකින්.

  • උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය වී ඇති අණුවල පවතින මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. උෂ්ණත්වය මනින උපකරණය උෂ්ණත්වමානයයි.
  • උෂ්ණත්වය මනින ඒකක සෙල්සියස් අංශක (°C), ෆැරන්හයිට් අංශක (°F) සහ කෙල්වින් (K) වේ. උෂ්ණත්වය මැනීමේ අන්තර් ජාතික ඒකකය කෙල්වින් (K) වේ.
  • තාපය යනු යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුවට සංක්‍රාමණය වන ශක්තියයි.
  • තාපය යම් වස්තුවකට අවශෝෂණය වුව හොත් පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් සිදු නොවෙයි නම් එම වස්තුවේ උෂ්ණත්වය අනිවාර්යයෙන්ම ඉහළ යයි; තාපය මුක්ත වුව හොත් එම වස්තුවේ උෂ්ණත්වය අනිවාර්යයෙන්ම පහළ යයි.
  • තාප ධාරිතාව (C) යනු යම් වස්තුවක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණයයි (J K-1 හෝ J °C-1). විශිෂ්ට තාප ධාරිතාව (c) යනු යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවීමට ලබාදිය යුතු තාප ප්‍රමාණය යි (J kg-1 K-1 හෝ J kg-1 °C-1).

තාප ධාරිතාව හා තාප ප්‍රමාණය

C = mc    Q = mcθ

  • ගුප්ත තාපය යනු යම් ද්‍රව්‍යයක අවස්ථා විපර්යාසයක් සිදුවීමේ දී උෂ්ණත්වය වෙනස් නොවී ලබාගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණයයි.
  • විලයනය යනු ඝන ද්‍රව්‍යයක් ද්‍රවයක් බවට පත්වීමයි. විලයනයේ හා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය යනු ද්‍රවාංකයේ හා තාපාංකයේ පවතින ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය යි; ඒකකය J kg-1 වේ.
  • යම් ද්‍රව්‍යයක් රත් වන විට එහි දිග, වර්ගඵලය හෝ පරිමාවේ සිදු වන වැඩි වීම ප්‍රසාරණයයි.
  • තාප සංක්‍රාමණය යනු උෂ්ණත්වය වැඩි ස්ථානයක සිට උෂ්ණත්වය අඩු ස්ථානයකට තාපය ගමන් කිරීමයි. තාප සංක්‍රාමණය සිදුවන ක්‍රම තුන සන්නයනය, සංවහනය සහ විකිරණයයි.
  • සන්නයනය යනු යම් පදාර්ථයක් තුළින් අංශුවෙන් අංශුවට සංක්‍රාමණය වෙමින් තාපය ඉදිරියට ගමන් කිරීමයි. සංවහනය යනු ද්‍රව හෝ වායු රත් වීමේ දී ඝනත්වය අඩු වී ඉහළ නැගීම මගින් තාපය සංක්‍රාමණය වීමයි. විකිරණය යනු රත් වූ වස්තුවක සිට පදාර්ථය මැදිහත් වීමකින් තොරව විද්‍යුත් චුම්බක තරංග ලෙසින් තාපය ගමන් කිරීමයි.
  • අඳුරු පෘෂ්ඨ මගින් සහ රළු පෘෂ්ඨ මගින් විකිරණ තාපය අවශෝෂණය කිරීම වැඩිය; දිලිසෙන හා සුදු පැහැති පෘෂ්ඨ විකිරණ තාපය පරාවර්තනය කරයි; කළු පෘෂ්ඨ වැඩියෙන් අවශෝෂණය කර අඩුවෙන් පරාවර්තනය කරයි.