Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 12 පරිච්ඡේදය — විද්‍යුත් රසායනය

12.3. ලෝහ විඛාදනය හා මල බැඳීම 5 වන පිටුව (5)

මල බැඳීමේ රසායනය

යකඩ මල බැඳීමේ දී සිදුවන ක්‍රියාවලිය මීළඟට සලකා බලමු. යකඩ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කර ධන අයන බවට පත් වේ. එනම් ඔක්සිකරණයට ලක් වේ.

Fe (s) → Fe2+ (aq) + 2e

ඉහත ආකාරයට ලෝහ පරමාණු ඔක්සිකරණය වන්නේ, එහි දී පිට වන ඉලෙක්ට්‍රෝන ලබා ගත හැකි ද්‍රව්‍යයක් ඒ අසල ඇති විට පමණි. වායුගෝලයේ ඇති ඔක්සිජන් වායුව සහ ජලය/ජලවාෂ්ප එක් ව ඇති විට ඒවා ඉලෙක්ට්‍රෝන ලබාගෙන පහත ආකාරයට ඔක්සිහරණයට ලක් වේ.

Fe (s) → Fe2+ (aq) + 2e

2H2O (l) + O2 (g) + 4e → 4OH- (aq)

මල බැඳීමේ අර්ධ ප්‍රතික්‍රියා: (1) හා (2)

(1) ප්‍රතික්‍රියාව මගින් පිට වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා (2) ප්‍රතික්‍රියාව මගින් ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තුලනය විය යුතු ය. එබැවින් (1) දෙකෙන් ගුණ කර (2) ට එකතු කෙරේ. සෑදෙන Fe2+ හා OH- අයන එක් ව Fe(OH)2 සාදයි.

2Fe (s) → 2Fe2+ (aq) + 4e

2H2O (l) + O2 (g) + 2Fe (s) → 2Fe(OH)2

(1) × 2 = (3); (2) + (3)

මේ අනුව, මල බැඳීමේ සිදුවන්නේ ද 12.1 හි අධ්‍යයනය කළ ආකාරයේ විද්‍යුත් - රසායනික ක්‍රියාවලියක් බව පැහැදිලි වේ. මෙහිදී සිදු වන (1) ප්‍රතික්‍රියාව ඇනෝඩ ප්‍රතික්‍රියාව ලෙසත් (ඔක්සිකරණයක් සිදු වන නිසා), (2) ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව ලෙසත් (ඔක්සිහරණයක් සිදුවන නිසා) හැඳින්විය හැකි ය. ඉහත සෑදුණු Fe(OH)2 තව දුරටත් වාතය සමඟ ප්‍රතික්‍රියා කර සජල ෆෙරික් ඔක්සයිඩ් (Fe2O3.H2O) සාදයි.

4Fe(OH)2 (s) + O2 (g) → 2(Fe2O3.H2O) (s) + 2H2O (l)

මලකඩ

මින් සෑදෙන සජල ෆෙරික් ඔක්සයිඩ් හෙවත් මලකඩ රතු දුඹුරු පැහැති ය. සජලනය වීමේ දී ෆෙරික් ඔක්සයිඩ් හා සම්බන්ධ වන ජල අණු සංඛ්‍යාව වෙනස් විය හැකි බැවින් මලකඩවල රසායනික සූත්‍රය, Fe2O3.xH2O ලෙස දැක්වීම වඩාත් සාධාරණ වේ.

මලකඩ යකඩ ඔක්සයිඩ් හා සමාන නොවේ

මලකඩවල සූත්‍රයේ ජලය ඇත. එබැවින් එය පතුරු ලෙස කැඩී ගොස් යට ඇති අලුත් යකඩ මල බැඳීමට විවෘත කරයි — ලෝහය ආරක්ෂා කරන ඇලුමිනියම් මත ඇති තද ඔක්සයිඩ් ස්තරය මෙන් නොවේ.

මල බැඳීම කුඩා විද්‍යුත් - රසායනික කෝෂයකි

ඇනෝඩ ප්‍රදේශවල යකඩ ඔක්සිකරණය වන අතර කැතෝඩ ප්‍රදේශවල ඔක්සිජන් හා ජලය ඔක්සිහරණය වේ; ඵල අවසානයේ මලකඩ, Fe2O3.xH2O බවට පත් වේ.