ආවර්ත කාලය හා සංඛ්‍යාතය
අංශු කෙතරම් වේගයෙන් දෝලනය වේ ද යන්න තවත් රාශි දෙකකින් විස්තර වේ: එක් දෝලනයකට ගත වන කාලය සහ තත්පරයකට සිදු වන දෝලන ගණන.
ආවර්ත කාලය (T)
එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය ආවර්ත කාලය (T) නමින් හැඳින්වේ.
තරංගයක් එහි තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීම සඳහා ගත කරන කාලය ද ආවර්ත කාලයට සමාන වේ.
සංඛ්‍යාතය (f)
එක් අංශුවක් විසින් ඒකක කාලයක දී සිදු කරන දෝලන සංඛ්‍යාව සංඛ්‍යාතය (f) නමින් හැඳින්වේ. එහි ඒකකය හර්ට්ස් (Hz) වන අතර හර්ට්ස් එකක් යනු තත්පරයට දෝලන එකකි.
සංඛ්‍යාතය හා ආවර්ත කාලය
f = 1 / T
සංඛ්‍යාතය ආවර්ත කාලයේ පරස්පරය යි
උදාහරණයක්
ගැටලුව
ලෝහ පටියක් තත්පර 5ක දී කම්පන 50ක් සිදු කරයි. එහි සංඛ්‍යාතය හා ආවර්ත කාලය සොයන්න.
විසඳුම
සංඛ්‍යාතය = කම්පන ගණන ÷ කාලය = 50 ÷ 5 s
= 10 Hz
ආවර්ත කාලය T = 1 ÷ f = 1 ÷ 10 Hz
= 0.1 s