විද්‍යුත් චුම්බක ප්‍රේරණය යනු කුමක් ද
ඉහත කොටසේ දී විද්‍යුතය මගින් චලනය සිදු කිරීම අධ්‍යයනය කළෙමු. මීළඟට අපගේ අවධානය යොමු කරන්නේ චුම්බක ක්ෂේත්‍රයක චලිතය වන සන්නායකයක් මගින් විද්‍යුත් ධාරාවක් නිපදවා ගැනීම පිළිබඳව යි.
චුම්බක ක්ෂේත්‍රයක් තුළ තැබූ සන්නායකයක් තුළින් ධාරාවක් ගැලීමේ දී එම සන්නායකය මත බලයක් ඇති වී සන්නායකය චලනය වීමට පෙළඹේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය යනු එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. එනම්, කිසියම් චුම්බක ක්ෂේත්‍රයක් තුළ පිහිටි සන්නායකයක් චලනයේ දී එහි අග්‍ර හරහා විද්‍යුත්ගාමක බලයක් හට ගැනීම යි.
විද්‍යුත් චුම්බක ප්‍රේරණය
වෙනස් වන චුම්බක ක්ෂේත්‍රයක් තුළ සන්නායකයක් නිශ්චලව තබා ඇති විට හෝ ස්ථාවර චුම්බක ක්ෂේත්‍රයක සන්නායකයක් චලනය වන විට හෝ සන්නායකය හරහා විද්‍යුත්ගාමක බලයක් හට ගැනීම විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ.
රූපයක් එක් කළ යුතුය
ප්‍රථම වරට විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලොවට හඳුන්වා දුන්නේ මයිකල් ෆැරඩේ ය. ඔහු විසින් 1831 දී මේ සම්බන්ධව වැදගත් නියමයක් වන ෆැරඩේ නියමය ඉදිරිපත් කරන ලදි.
වෙළෙඳසැල් හා කාර්යාලවලට ඇතුළු වීමට යොදා ගන්නා චුම්බක පත් ද මුදල් ගෙවීමට උපයෝගි කර ගන්නා චුම්බක පත් ද (credit card, debit card) ක්‍රියාත්මක වීමේ දී විද්‍යුත් චුම්බක ප්‍රේරණ සංසිද්ධිය භාවිත වේ. නවීන ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් වන විද්‍යුත් ශක්තිය ප්‍රධාන වශයෙන් නිපදවා ගන්නේ තෙල්, ගල් අඟුරු, න්‍යෂ්ටික ශක්තිය වැනි ප්‍රභව මගින් උපදවන ශක්තිය, විද්‍යුත් චුම්බක ප්‍රේරණය මගින් විද්‍යුත් ශක්තියට පරිවර්තනය කිරීම මගින් ය.
රූපයක් එක් කළ යුතුය
මෙය ලෝකය වෙනස් කළේ ඇයි
ෆැරඩේට පෙර ස්ථාවර ධාරා ප්‍රභවය වූයේ මිල අධික, ඉක්මනින් හිස් වන රසායනික කෝෂය පමණි. ප්‍රේරණය නිසා, දණ්ඩක් කරකැවිය හැකි ඕනෑම දෙයක් — වැටෙන ජලය, ගල් අඟුරු හෝ තෙල් දහනයෙන් ලැබෙන වාෂ්ප, සුළඟ — චුම්බක අසලින් දඟර කරකවමින් විදුලිය නිපදවීමට යොදා ගත හැකි ය. ශ්‍රී ලංකාවේ මහවැලි ජල විදුලි බලාගාර හා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යන දෙක ම අවසන් වන්නේ එකම යන්ත්‍රයෙනි: විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් ක්‍රියා කරන ජනකයකි. පසුගිය පිටුවල මෝටරය හා මෙම පිටුවල ජනකය ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියාත්මක කළ එකම අදහසයි.
වෙනස් වන ක්ෂේත්‍රයක් විද්‍යුත්ගාමක බලයක් ඇති කරයි
විද්‍යුත් චුම්බක ප්‍රේරණය: චුම්බක ක්ෂේත්‍රයක චලනය වන හෝ වෙනස් වන ක්ෂේත්‍රයක නිශ්චලව ඇති සන්නායකයක විද්‍යුත්ගාමක බලයක් හට ගැනේ (ෆැරඩේ, 1831).