ශක්තිය මනාව භාවිතය
ශක්තිය මනාව භාවිත කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් උපකාරී වේ.
එදිනෙදා ශක්ති පරිභෝජනය නියාමනය
එදිනෙදා අප පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය කිසියම් මැනීමකට ලක් කර එහි වෙනස් වීම් පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතු ය. එමගින් ශක්ති හානිය අවම කර ගත හැකි ය.
ශක්ති පරිභෝජනය අධීක්ෂණය
විවිධ ආයතන වෙත ගොස් ශක්ති පරිභෝජනය පිළිබඳ විග්‍රහයක් සිදු කර නිර්දේශ සහ උපදෙස් ඉදිරිපත් කරමින් පාලන අධිකාරිය දැනුවත් කිරීම අධීක්ෂණයේ අරමුණයි. මෙහි දී පරිභෝජන ශක්තිය අඩු කිරීම හා ශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ ජනතාව උනන්දු කිරීම සිදු වේ.
ශක්ති කාර්යක්ෂමතාව
ශක්ති පාරිභෝජනය කළමනාකරණය කිරීම තුළින් කිසියම් සේවාවක් සැපයීම සඳහා අඩු ම ශක්ති ප්‍රමාණයක් භාවිත කිරීම ශක්ති කාර්යක්ෂමතාව ලෙස හැඳින්වේ. ශක්ති කාර්යක්ෂමතාව තුළින් ශක්ති පරිභෝජනයේ කළමනාකරණය හා පාලනය වැඩි දියුණු කළ හැකි ය. එසේම අඩු ශක්තියක් වැය කොට වැඩි සේවාවක් සැපයීමේ හැකියාව ද ලැබේ. සේවාව භාවිත නොකර සිටීම හෝ සේවා පාලනය කිරීම මින් අදහස් නොකෙරේ.
පැවරුම 15.12
ඔබ නිවසේ භාවිත කරන විදුලි උපකරණ පරීක්ෂා කොට ක්ෂමතාව (Wattage) පිළිබඳ අගයයන් සටහන් කරන්න. ඒ අනුව ඒවායේ විදුලිය වැය වීම පිළිබඳ සොයා බලන්න.
නිදසුන්: මිනිත්තු 30ක් භාවිත කරන 1000 W ඉස්ත්‍රික්කයක් 1000 × 0.5 = 500 Wh = 0.5 kWh — 10 වන පරිච්ඡේදයේ මෙන් ඒකකයෙන් අඩක් — වැය කරයි.
ශක්තිය තිරසාර ලෙස භාවිතය
පුනර්ජනනීය ශක්ති තිරසාර ශක්තින් ලෙස සැලකේ. නිදසුන්: සූර්ය ශක්තිය, සුළඟ, ජෛව ස්කන්ධ. යම් යම් තාක්ෂණික හේතුන් නිසා බොහෝ පුනර්ජනනීය ශක්ති සම්පත් භාවිතය තවමත් පහළ මට්ටමක පවතී.
ගෘහ නිර්මාණ ශිල්පයේ දී ස්වාභාවික ශක්තිය භාවිතය
- නිවසක් ගොඩනැගීමේ දී නිවස තුළ වායු සංසරණය මනාව සිදුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත් වේ. ස්වාභාවික සූර්ය ශක්තිය නිවස තුළට පතනය වීමෙන් නිවස තුළ උෂ්ණත්වය ඉහළ යයි. එබැවින් නැගෙනහිර හා බටහිර දිශාවට ජනෙල් තැබීම යෝග්‍ය නොවේ. විශේෂයෙන් බටහිර දිශාවෙන් සිදුවන තාප සංක්‍රමණය ඉතා අධික බැවින් එසේ නොකරයි. උතුරු හා දකුණු දිශාවට ජනෙල් තැබීමෙන් මනා වායු සංසරණයක් හා නිවස තුළ ස්වාභාවික සිසිලනය පවත්වා ගත හැකි ය.
- ස්වාභාවික වාතන ක්‍රම (Natural ventilation) මගින් කෘත්‍රිම වායු සමීකරණය (Air conditioning) සඳහා වැය වන විදුලිය ඉතිරි කර ගත හැකි ය.
- දහවල් කාලයේ දී ඇති වන දිවා ආලෝකය ප්‍රයෝජනයට ගැනීමෙන් (Day light harvesting) ආලෝකය නිපදවා ගැනීම සඳහා දිවා ආලෝකයට සංවේදී විදුලි පහන් නිපදවා තිබේ. එමගින් විදුලිය සඳහා යන වියදම විශාල වශයෙන් අඩු කරගත හැකි ය.
- නිවස තුළ ඝනකම් තිර රෙදි භාවිතයෙන් වායු සමීකරණයේ දී සිදුවන තාප හුවමාරුව අඩුවේ. එබැවින් වායු සමීකරණය සඳහා වැය වන විදුලිය පිරිමසා ගත හැකි ය.
- ශක්ති සංරක්ෂණ ක්‍රමයක් ලෙස ස්වාභාවික වර්ෂා ජලය (Rain water harvesting) යොදා ගැනීම සිදු කරයි.
- බොයිලේරු චිමිනි හරහා දහනයෙන් පිටවන වායුවල අඩංගු අධික තාප ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් බොයිලේරු හා විවිධ දහන පෝෂක වායු රත් කර ගැනීම සිදු කරයි.
මනින්න, අධීක්ෂණය කරන්න, කාර්යක්ෂම වන්න
ශක්ති භාවිතය නියාමනය හා අධීක්ෂණය, කාර්යක්ෂම උපකරණ, පුනර්ජනනීය ප්‍රභව හා ස්වාභාවික ආලෝකය හා වාතනය සඳහා සැලසුම් කළ නිවාස සියල්ල ශක්තිය ඉතිරි කරයි.