වස්තුවක තාප ධාරිතාව
එකම තාප ප්‍රමාණය සෑම ද්‍රව්‍යයක ම උෂ්ණත්වය එකම ප්‍රමාණයකින් ඉහළ නංවයි ද? 9.2 ක්‍රියාකාරකමෙන් එය පරීක්ෂා කෙරේ.
9.2 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: එක සමාන බීකර තුනක්, ජලය, පොල්තෙල්, උෂ්ණත්වමාන තුනක්, එක සමාන බන්සන් දාහක තුනක්, මන්ථයක්
- එක් බීකරයකට පරිමාව මැන ගත් ජල ප්‍රමාණයක් ද, දෙවැන්නට එම පරිමාව ම සහිත පොල්තෙල් පරිමාවක් ද, තුන්වන බීකරයට පළමු පරිමාව මෙන් දෙගුණයක ජල පරිමාවක් ද දමන්න.
- මෙම බීකර තුනෙහි ම අඩංගු ද්‍රවවල උෂ්ණත්ව මැන ගන්න.
- එක සමාන බන්සන් දාහක තුනක් මගින් සමාන කාල සීමාවක් (මිනිත්තු 5ක් පමණ) රත් කර, උෂ්ණත්ව නැවත මැන ගන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
එක සමාන බන්සන් දාහක මගින් සමාන කාල සීමාවක් රත් කිරීමේ දී බීකර තුනට ම සපයන ලද තාප ප්‍රමාණයන් ආසන්න වශයෙන් සමාන යැයි සිතිය හැකි ය. එනමුත් බීකර තුනෙහි උෂ්ණත්ව වැඩි වීම අසමාන බව ඔබට පෙනෙනු ඇත. ඒ අනුව එම බීකර තුනෙහි අඩංගු ද්‍රවවල තාප ධාරිතා අසමාන යැයි නිගමනය කළ හැකි ය.
තාප ධාරිතාව
යම් වස්තුවක උෂ්ණත්වය ඒකක 1කින් වැඩි කිරීම සඳහා සැපයිය යුතු තාප ප්‍රමාණය එම වස්තුවේ තාප ධාරිතාව ලෙස හැඳින්වේ. තාප ධාරිතාව මනින අන්තර් ජාතික සම්මත ඒකකය J K-1 (කෙල්විනයට ජූල්) වේ. J °C-1 ලෙස ද දැක්විය හැකි ය. තාප ධාරිතාව C මගින් දක්වනු ලැබේ.
යම් වස්තුවක තාප ධාරිතාව රඳා පවතින්නේ එම වස්තුව සාදා ඇති ද්‍රව්‍ය සහ වස්තුවේ ස්කන්ධය මතයි. එකම ද්‍රව්‍යයකින් තනා ඇති, වෙනස් ස්කන්ධ සහිත වස්තුවල තාප ධාරිතා අසමාන වේ. ස්කන්ධ සමාන වුව ද, වෙනස් ද්‍රව්‍යවලින් තනා ඇති වස්තු දෙකක තාප ධාරිතා අසමාන විය හැකි ය.