Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.2. තාපය 1 වන පිටුව (2)

තාපය යනු කුමක් ද

සර්වසම භාජන දෙකක කාමර උෂ්ණත්වයේ පවතින සමාන ජල පරිමාවන් අඩංගු කරමු. ඒවාට උෂ්ණත්වමාන දෙකක් යොදා 9.8 රූපයේ පෙන්වා ඇති පරිදි බන්සන් දාහකයකට ඉහළින් සිටින සේ ඇටවුම සකස් කරමු. දැන් 9.8(a) රූපයේ බන්සන් දාහකය එලෙසම තිබිය දී 9.8(b) රූපයේ බන්සන් දාහකය දල්වමු.

රූපයක් එක් කළ යුතුය

9.8 රූපය — උෂ්ණත්වමාන සහිත සමාන ජල බඳුන් දෙකක්: (a) බන්සන් දාහකය දල්වා නැත, (b) බන්සන් දාහකය දල්වා ඇත.

නිරීක්ෂණය

9.8(a) ඇටවුමේ තිබූ ජලයේ උෂ්ණත්වය නොවෙනස්ව පවතී. එහෙත් 9.8(b) ඇටවුමේ තිබූ ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යන බව පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ දැල්ලේ සිට යමක් ජලයට සංක්‍රාමණය වී ඇති බවත් එමගින් ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවත් ය. මෙහි දී ජලයට සංක්‍රාමණය වූයේ තාපය යි.

තාපය

යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුවට ගලා යන ශක්තිය භෞතික විද්‍යාවේ දී තාපය ලෙස හඳුන්වනු ලැබේ. එක් වස්තුවක සිට තවත් වස්තුවකට තාපය ගලා යෑම තාප සංක්‍රාමණය ලෙස හැඳින්වේ.

තාපය ශක්තියකි

ඇමෙරිකානු ජාතික බෙන්ජමින් තොම්සන් (කවුන්ට් රම්ෆර්ඩ්) (1753 - 1814) විසින් තාපය යනු ශක්ති විශේෂයක් බව මුල්වරට හඳුන්වා දෙනු ලැබී ය. 1798 දී ඔහු, තාපය යනු ශක්ති ප්‍රභේදයක් බව පරීක්ෂණාත්මක ව පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳ ව නැවත පරීක්ෂණ සිදුකර ඇත්තේ 1840 දී ජේම්ස් ජූල් නැමැති විද්‍යාඥයා යි.