Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.2. තාපය 2 වන පිටුව (2)

තාපය ගමන් කිරීම හා තාපජ සමතුලිතතාව

රත්වූ යකඩ කැබැල්ලක් කාමර උෂ්ණත්වයේ පවතින ජල බඳුනකට දැමූ විට කුමක් සිදු වන්නේ දැයි පරීක්ෂා කරමු.

9.1 ක්‍රියාකාරකම

අවශ්‍ය ද්‍රව්‍ය: ජලය (කාමර උෂ්ණත්වයේ පවතින ජලය) අඩංගු බඳුනක්, රත් වූ යකඩ කැබැල්ලක්, උෂ්ණත්වමානයක්, මන්ථයක්

  • රත්වූ යකඩ කැබැල්ල සිසිල් ජලය අඩංගු බඳුනට දමන්න.
  • උෂ්ණත්වමානයේ සටහන් වන උෂ්ණත්වය නිරීක්ෂණය කරන්න.

රූපයක් එක් කළ යුතුය

9.9 රූපය — උෂ්ණත්වමානයක් හා මන්ථයක් සහිත සිසිල් ජල බඳුනකට රත් වූ යකඩ කැබැල්ලක් දැමීම; උෂ්ණත්වය ඉහළ යයි.

නිරීක්ෂණය

ජලයේ උෂ්ණත්වය ඉහළ යන බව උෂ්ණත්ව පාඨාංකයෙන් ඔබට පෙනෙනු ඇත. මෙහි දී සිදුවන්නේ වැඩි උෂ්ණත්වයේ පවතින යකඩ කැබැල්ලේ සිට අඩු උෂ්ණත්වයේ ඇති ජලයට තාපය ගමන් කිරීම යි. බඳුන ද රත් වෙයි. යකඩ කැබැල්ලේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙයි. ටික වේලාවකින් ජලයේත් යකඩ කැබැල්ලේත් උෂ්ණත්වයන් සමාන වේ. එසේ උෂ්ණත්ව සමාන වූ පසුව තාපය ගැලීම සිදු නොවේ.

තාපජ සමතුලිතතාව

උෂ්ණත්ව සමාන වී තාපය ගැලීම සිදු නොවන අවස්ථාව තාපජ සමතුලිතතාව නමින් හැඳින්වේ.

ඉහළ මට්ටමක සිට පහළ මට්ටමකට ජලය ගලා යන්නා සේ තාප ශක්තියත් ඉහළ උෂ්ණත්වයක ඇති වස්තුවක සිට පහළ උෂ්ණත්වයක් ඇති වස්තුවකට ගලයි. එහි දී උෂ්ණත්වය අඩු වස්තුවේ උෂ්ණත්වය ඉහළ යයි; උෂ්ණත්වය වැඩි වස්තුවේ උෂ්ණත්වය පහළ යයි.

තාපය යනු ශක්ති විශේෂයක් නිසා තාපය ජූල්වලින් (J) මැනිය හැකි ය. තාපය මැනීම සඳහා භාවිත කරන අන්තර්ජාතික ඒකකය ජූල් ය. ඒ හැරෙන්නට තාපය මැනීම සඳහා කැලරි යන ඒකකය ද බහුල ව භාවිත වේ.