ආලෝක විමෝචක ඩයෝඩ
ගැලියම් ආසනයිඩ් (GaAs) වැනි සංයෝගයක් අර්ධ සන්නායකය ලෙස භාවිත කොට සාදන ලද p - n සන්ධියක් ඉදිරි නැඹුරු කළ විට p - n සන්ධිය අසල දී ආලෝකය විමෝචනය වේ. ආලෝකය විමෝචනය කළ හැකි මෙවැනි ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ (Light - Emitting Diode - LED) ලෙස හඳුන්වනු ලැබේ.
රූපයක් එක් කළ යුතුය
අග්ර හඳුනා ගැනීම
- LED හි දිග අග්රය ඇනෝඩය වේ.
- LED හි පාදය අප දෙසට අල්වා බැලූ විට එහි කැපුමට ආසන්න අග්රය කැතෝඩය වේ.
රතු, කහ, කොළ සහ නිල් වර්ණ ද පාරජම්බුල (UV) සහ අධෝරක්ත (IR) කිරණ ද විමෝචනය කළ හැකි LED වෙළෙඳපොළේ ඇත. මුල් යුගයේ ආලෝක විමෝචක ඩයෝඩ වැඩි වශයෙන් ම භාවිත කරන ලද්දේ දර්ශක (indicators) ලෙසයි. නමුත් දැන් විශාල ප්රමාණයේ රූපවාහිනී තිර නිපදවීම සඳහා ද ආලෝක විමෝචක ඩයෝඩ භාවිත කරනු ලැබේ. සුදු වර්ණ LED නිපදවීමෙන් පසු නිවෙස් ආලෝකවත් කිරීම, පාරවල් ආලෝකවත් කිරීම, විදුලි පන්දම් නිපදවීම වැනි කටයුතු සඳහා ආලෝක විමෝචක ඩයෝඩ භාවිතය වැඩි වෙමින් පවතී. ශක්ති වැය වීම ඉතා අඩු වීමත් පැය 50,000ක පමණ ආයු කාලයක් තිබීමත් ඒවා භාවිතය ප්රචලිත වීමට හේතු වී ඇත.
වර්ණ හා වෝල්ටීයතා
| වර්ණය | අර්ධ සන්නායක ද්රව්ය | අවම නැඹුරු වෝල්ටීයතාව |
|---|---|---|
| රතු | GaAs | 1.8 V |
| තැඹිලි | GaAsP | 2 V |
| කහ | AlInGaP | 1.8 V |
| කොළ | GaP | 2.2 V |
| නිල් | GaN | 5 V |
- මේවා දැල්වීමේ දී 10 ∼ 20 mA පමණ ධාරාවක් ගලා යයි.
- LED වලින් විමෝචනය කරන්නේ ඒක වර්ණ ආලෝකයකි. ආවරණය වර්ණ ගන්වා ඇත්තේ නොදැල්වෙන විට එහි වර්ණය සොයා ගැනීමට ය.
- ආලෝක විමෝචක ඩයෝඩයක් හරහා ගලන ධාරාව වැඩි වන විට එහි දීප්තිය වැඩි වේ. වැඩි දීප්තියකින් දැල්වූ විට එහි ආයු කාලය කෙටි වේ.