Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

ආලෝක විමෝචක ඩයෝඩ හා සූර්ය කෝෂ 2 වන පිටුව (2)

සූර්ය කෝෂ

සූර්ය කෝෂ සාදා ඇත්තේ ද p - n සන්ධිවලිනි. එබැවින් සූර්ය කෝෂ ද ඩයෝඩ වර්ගයට ගැනේ. මෙහි සන්ධි මතට ආලෝකය පතනය විය හැකි ලෙස ඒවා පිටතට විවෘත ව සාදා ඇත.

සූර්ය කෝෂය

මෙම සිලිකන් p - n සන්ධිය මතට සූර්ය කිරණ පතනය වූ විට සන්ධිය හරහා කුඩා විද්‍යුත්ගාමක බලයක් (විභව අන්තරයක්) ජනනය වේ. මෙවැනි p - n සන්ධියක් විද්‍යුත්ගාමක බල ප්‍රභවයක් ලෙස භාවිත කළ හැකි හෙයින් එය සූර්ය කෝෂයක් ලෙස හඳුන්වනු ලැබේ. එක් කෝෂයකින් 0.5 V පමණ විද්‍යුත්ගාමක බලයක් ජනනය වන නමුදු මෙවැනි කෝෂ ගණනාවක් ශ්‍රේණිගත ව සහ සමාන්තරගත ව සැකසීමෙන් 12 V හෝ 15 V වැනි වෝල්ටීයතාවක් සහ ඇම්පියර ගණනාවක් ලබා ගත හැකි ය. මෙවැනි ඇටවුමක් සූර්ය පැනලයක් (solar panel) ලෙස හඳුන්වනු ලැබේ.

රූපයක් එක් කළ යුතුය

11.19 රූපය — ප්‍රධාන විදුලි ජාලයට සම්බන්ධ සූර්ය පැනල සහිත නිවසක්.

මෙම සූර්ය පැනල පළමු ව නිපදවන ලද්දේ අභ්‍යවකාශ චන්ද්‍රිකාවල ප්‍රයෝජනය සඳහා ය. චන්ද්‍රිකාවට විදුලිය ලබා ගැනීම සඳහා බැටරි වෙනුවට මේවා යොදවන ලදි. එවකට ඒවායේ මිල ඉතා අධික වූ අතර නිෂ්පාදන තාක්ෂණය දියුණුවීම සහ අඩු මිලට නිපදවීමට හැකි වීම නිසා නිවෙස් සහ වීදි ආලෝක කිරීම සඳහා ද දැන් සූර්ය පැනල භාවිත කරනු ලැබේ. ඔරලෝසු, ගණක යන්ත්‍ර ආදිය සඳහා දැනට භාවිත කරන සූර්ය කෝෂ, සූර්ය බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිපදවීමට ද භාවිත කරනු ලැබේ.

නොමිලේ ලැබෙන සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන නිසාත්, කිසිදු පරිසර දූෂණයකට හේතු වන ද්‍රව්‍යයක් පිට නොකරන නිසාත් සහ ඉතා විශාල ආයු කාලයක් ඇති නිසාත් (ප්‍රථමයෙන් නිපදවන ලද සූර්ය කෝෂ දැනට ද සක්‍රියව ක්‍රියා කරයි) සූර්ය කෝෂ අනාගත බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස සැලකේ.