චුම්බක ක්ෂේත්‍රය
සෑම චුම්බකයක් වටාම එමගින් බලපෑම් කළ හැකි අවකාශයක් ඇත. මෙම අවකාශය චුම්බක ක්ෂේත්‍රය (magnetic field) යැයි කියනු ලැබේ.
චුම්බක ක්ෂේත්‍රයක් ඇසට සංවේදී නොවේ. එහෙත් වෙනත් චුම්බකයකට හෝ ගමන් කරන ආරෝපණයකට එමගින් බලපෑමක් ඇති කළ හැකි ය. සමහර කුරුල්ලන් වැනි සතුන්, සිය ගමන් මාර්ග තීරණය කිරීමට පෘථිවි චුම්බක ක්ෂේත්‍රය භාවිත කරන බව සොයාගෙන ඇත.
අපට කිසියම් අවකාශයක් තුළ චුම්බක ක්ෂේත්‍රයක් ඇති දැයි නිර්ණය කරගත හැකි එක් ක්‍රමයක් වන්නේ මාලිමාවක් භාවිත කිරීමෙනි. මාලිමාවක් යනු නිදහසේ කරකැවෙන ලෙස විවර්තකයක් මත සවිකර ඇති කුඩා සැහැල්ලු චුම්බකයකි. මාලිමා කටුව යනුවෙන් අප හඳුන්වන්නේ එම කුඩා චුම්බකය වන අතර වෙනත් චුම්බක බලපෑමක් නැති විට එය පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ උතුරු දකුණු දිශා ඔස්සේ දිශානත වී පවතී.
13.1 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: මාලිමාවක්, වීදුරු කැබැල්ලක්, යකඩ කැබැල්ලක්, චුම්බකයක්, ප්ලාස්ටික් කැබැල්ලක්, පිත්තල කැබැල්ලක්
මාලිමාව මේසය මත තබා එය අසලට වීදුරු කැබැල්ලක්, යකඩ කැබැල්ලක්, චුම්බකයක්, ප්ලාස්ටික් කැබැල්ලක්, පිත්තල කැබැල්ලක් ගෙනයමින් එක් එක් අවස්ථාවේ දී මාලිමා දර්ශකයේ උත්ක්‍රමය නිරීක්ෂණය කරන්න.
නිරීක්ෂණය
මෙහි දී නිරීක්ෂණය වන්නේ මාලිමාවේ දර්ශකය උත්ක්‍රමය වන්නේ එය අසළට චුම්බකයක් ගෙන යන විට දී පමණක් බවයි. එමගින් හැඟී යන්නේ චුම්බකය මගින් ඒ අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇති කර ඇති බවයි.
අමතර දැනුමට
මිනිසා ස්වාභාවික චුම්බක පිළිබඳ ව අවුරුදු දහස් ගණනකට පෙර ද දැන සිට ඇති අතර චුම්බක මාලිමාව නිපදවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ එකළොස් වන ශත වර්ෂයේ දී චීන ජාතිකයන් විසිනි.
චුම්බක ක්ෂේත්‍රයක් පවතින ප්‍රදේශයක් තුළ යම් ලක්ෂ්‍යයක මාලිමාවක් තැබූ විට මාලිමාවේ දර්ශකයෙන් පෙන්වන්නේ එම ලක්ෂ්‍යයේ දී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව යි. එම දිශාව ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍යයට වෙනස් විය හැකි ය. මේ හැරෙන්නට එක් එක් ලක්ෂ්‍යයේ දී චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව ද වෙනස් විය හැකි ය. මේ අනුව චුම්බක ක්ෂේත්‍රයක් යනු විශාලත්වයක් සහ දිශාවක් සහිත භෞතික රාශියකි.
රූපයක් එක් කළ යුතුය
ක්ෂේත්‍රයට විශාලත්වයක් හා දිශාවක් ඇත
චුම්බක ක්ෂේත්‍රය යනු චුම්බකයකට බලපෑම් කළ හැකි අවට අවකාශයයි. මාලිමාවක් එක් එක් ලක්ෂ්‍යයේ එහි දිශාව පෙන්වයි; චුම්බකයෙන් පිටත ක්ෂේත්‍රය N සිට S දක්වා ගමන් කරයි.