Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

ප්‍රතික්‍රියා තාපය මැනීම 1 වන පිටුව (3)

පොලිස්ටයිරීන් කෝප්පය

8.3 ක්‍රියාකාරකමෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH) හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl) අතර ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය පරීක්ෂණාත්මක ව නිර්ණය කෙරේ.

ක්‍රියාකාරකම 8.3

අවශ්‍ය ද්‍රව්‍ය: 2 mol dm-3 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය 50 cm3, 2 mol dm-3 හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණය 50 cm3, 100 cm3 බීකර 2ක්, 0 - 100 °C පරාසය ඇති උෂ්ණත්වමානයක්, පොලිස්ටයිරීන් (රිජිෆෝම්) කෝප්පයක්, වීදුරු කූරක්

  1. කුඩා බීකර දෙකට වෙන වෙන ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ 50 cm3ක් ද හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයෙන් 50 cm3ක් ද බැගින් මිනුම් සරාව ආධාරයෙන් මැනගන්න.
  2. උෂ්ණත්වමානය ආධාරයෙන් එම ද්‍රාවණ දෙකේ ආරම්භක උෂ්ණත්ව මැන සටහන් කරගන්න. (භස්ම ද්‍රාවණයේ උෂ්ණත්වය මැනීමෙන් පසු අම්ල ද්‍රාවණයේ උෂ්ණත්වය මැනීමට පෙර උෂ්ණත්වමානය සෝදගන්න.)
  3. දැන් මෙම ද්‍රාවණ දෙක පොලිස්ටයිරීන් කෝප්පයට දමා වීදුරු කූරෙන් කලතා ලැබෙන උපරිම උෂ්ණත්වය සටහන් කරගන්න.

රූපයක් එක් කළ යුතුය

8.4 රූපය — ඇටවුම: මිශ්‍රණය සහිත පොලිස්ටයිරීන් කෝප්පය, පියනකින් වසා, පියන හරහා උෂ්ණත්වමානය හා වීදුරු කූර.

තාපය රඳවා ගැනීම

මෙම පරීක්ෂණය සිදුකිරීමේ දී පරිසරයට තාපය හානිවීමත් බඳුනට තාපය අවශෝෂණය වීමත් සිදු වේ. එම තාප ප්‍රමාණය ගණනයට ඇතුළත් නොවීම දෝෂයකි. එය අවම කරගැනීම සඳහා තාප පරිවාරක පොලිස්ටයිරීන් කෝප්පයක් භාවිත කරනු ලැබේ. ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය මිශ්‍රණය පුරා ඒකාකාර ව පැවතීමට මන්ථයක් හෝ වීදුරු කූරක් භාවිතයෙන් මිශ්‍රණය හොඳින් කැලතිය යුතු ය.

HCl (aq) + NaOH (aq) → NaCl (aq) + H2O (l)