නාභීය දුර සෙවීම
ඉතා ඈතින් පිහිටි දෙයකින් එන කිරණ සමාන්තර කිරණ ලෙස සැලකිය හැකි අතර අවතල දර්පණයක් සමාන්තර කිරණ එහි නාභියට එකතු කරයි. එයින් නාභීය දුර මැනීමට ඉක්මන් ක්‍රමයක් ලැබේ.
5.1 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: අවතල දර්පණයක්, සුදු තිරයක්
- කාමරයක ජනේලය විවෘත කරන්න.
- එම කාමරය තුළ සිට අවතල දර්පණයක් විවෘත ජනේලය දෙසට යොමු කරගෙන අල්ලාගෙන සිටින්න.
- අවතල දර්පණයට ඉදිරියෙන් සුදු කඩදාසියක් වැනි තිරයක් අල්ලාගෙන දර්පණය සීරුමාරු කර ජනේලයෙන් පිටත දුරින් පිහිටි දර්ශනයක ප්‍රතිබිම්බයක් එම තිරය මත ලබා ගන්න.
- ඉතා ම පැහැදිලි යටිකුරු කුඩා ප්‍රතිබිම්බයක් (ඡායාරූපයක් වැනි) තිරය මත ලැබෙන අවස්ථාවේ තිරය හා අවතල දර්පණය අතර දුර මැන ගන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
තිරය මත ලබා ගත හැකි නිසා එම ප්‍රතිබිම්බය තාත්ත්වික ප්‍රතිබිම්බයකි. දුරින් පිහිටි වස්තුවකින් එන කිරණ එකිනෙකට සමාන්තර කිරණ ලෙස සැලකිය හැකි නිසා අවතල දර්පණයේ සිට ප්‍රතිබිම්බයට ඇති දුර ආසන්න වශයෙන් දර්පණයේ නාභීය දුර ලෙස සැලකිය හැකි ය.
තාත්ත්වික ප්‍රතිබිම්බය
කිරණ සැබැවින් ම හමු වන තැන සෑදේ; තිරයක් මත ලබා ගත හැකි ය.
අතාත්ත්වික ප්‍රතිබිම්බය
කිරණ එයින් එන්නාක් මෙන් පමණක් පෙනේ; දර්පණය තුළින් බැලීමෙන් පමණක් දැකිය හැකි ය.