වාෂ්පීකරණය හා පෙරීම
බොහෝ විට එකකට පසු අනෙක භාවිත කරන ක්‍රම දෙකකි, සහ අවසානයේ එම මිශ්‍රණයට ම දෙක ම යොදන ක්‍රියාකාරකමකි.
වාෂ්පීකරණය
මුහුදු ජලය යොදාගෙන ලුණු නිස්සාරණය කරන ආකාරය සමහරවිට ඔබ නිරීක්ෂණය කර තිබෙන්නට ඇත. මෙහි දී සිදුවනුයේ සූර්ය තාපය නිසා මුහුදු ජලයේ ඇති ජලය වාෂ්පීභවනය වීමයි. ජලය වාෂ්පීභවනය වී එහි දිය වී තිබූ ලවණ අවක්ෂේප වේ.
වාෂ්පීකරණය
මිශ්‍රණයකට තාපය සපයා එහි ඇති අනවශ්‍ය සංඝටක වාෂ්පීකරණය කර අවශ්‍ය සංඝටකය වෙන්කර ගැනීම වාෂ්පීකරණය කිරීමේ දී සිදු වේ.
අසාමාන්‍ය අවස්ථාවක් — රන් සංරසය
රසදියෙහි ලෝහ දියවී සංරසය ලෙස හැඳින්වෙන විශේෂ ද්‍රාවණයක් සෑදේ. අපිරිසිදු රන් ලෝහයට රසදිය එකතු කළ විට රන් පමණක් දිය වූ ද්‍රාවණයක් ලැබේ. මෙය රන්සංරසය ලෙස හැඳින්වේ. රන්සංරසයට තාපය ලබා දුන් විට රසදිය වාෂ්ප වී පිරිසිදු රන් ලෝහය ඉතිරි වේ. වාෂ්ප වී යන රසදිය සිසිල් කොට නැවත ප්‍රයෝජනයට ගැනේ.
පෙරීම
ඔබේ නිවසේ ආහාර පිසින විට දී ඇතැම් ව්‍යංජනවලට පොල් කිරි එකතු කර ලැබේ. පොල් කිරි සාදන්නේ හිරමනයෙන් ගා ගන්නා පොල්වලට ජලය එකතු කර අතින් පොඩි කර මිරිකා ගැනීමෙනි. පොල් මදයේ සමහර කොටස් ජලයේ දිය නොවී අවලම්බනය වේ. මෙම මිශ්‍රණය කිරි පෙරහනට දැමූ විට කිරි පැහැ ද්‍රාවණය පෙරී යන අතර අනෙක් කොටස් පෙරහනෙහි ඉතිරි වේ.
පෙරීම
ද්‍රවයක ද්‍රාවණගත නොවී අවලම්බනය වන සංඝටක එම මිශ්‍රණයෙන් වෙන් කිරීමට පෙරීම භාවිත කළ හැකි ය. පෙරහනක කුඩා සිදුරු පවතී. මෙම සිදුරුවලට වඩා කුඩා අංශුවලට සිදුරු තුළින් ගමන් කළ හැකි ය. එහෙත් ඊට වඩා විශාල අංශුවලට එම සිදුරු තුළින් ගමන් කළ නොහැකි ය.
අවශේෂය
පෙරහනේ ඉතිරි වන ද්‍රව්‍යය අවශේෂය ලෙස හැඳින්වේ.
පෙරනය
පෙරී ගිය ද්‍රාවණය පෙරනය ලෙස හැඳින්වේ.
ක්‍රියාකාරකම 3.3.1 — එක් මිශ්‍රණයකට ක්‍රම දෙක ම
ක්‍රමය
වියළි පස් 10 g ක් පමණ සහ ලුණු (NaCl) 5 g ක් පමණ හොඳින් මිශ්‍ර කරන්න. බීකරයකට ජලය 50 ml ක් පමණ ගෙන මෙම මිශ්‍රණය ජලයට දමා කලතා ගන්න. රූපයේ ආකාරයට උපකරණ සකසා මෙම මිශ්‍රණය පෙරන්න. පෙරීම අවසන් වූ පසු පෙරහන් කඩදාසිය නිරීක්ෂණය කරන්න. පෙරනයෙන් 10 ml ක් පමණ වාෂ්පීකරණ දීසියකට දමා වාෂ්පීකරණය කරන්න. දීසියේ යමක් ඉතිරි වී ඇති දැයි බලන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
පස් සාම්පලයේ ඇති විශාල මැටි අංශු පෙරී නොයන අතර, ඒවා පෙරහන් කඩදාසියේ රැඳී ඇත. ජලය සහ ලුණු කුඩා අංශුවලින් සෑදී ඇති නිසා ඒවා පෙරහන තුළින් ගමන් කර පෙරනයට එකතු වී ඇත. පෙරනය වාෂ්ප කළ විට දීසියේ ලුණු ඉතිරි වේ.
එබැවින් සංඝටක තුනක මිශ්‍රණය පියවර දෙකකින් වෙන් විය: පෙරීමෙන් අංශු විශාලත්වය අනුව පස ඉවත් වූ අතර, වාෂ්පීකරණයෙන් තාපාංකය අනුව ජලය ඉවත් වී ලුණු ඉතිරි විය.