ධාරා වර්ධකය
ට්‍රාන්සිස්ටරයක් මූලික වශයෙන් ප්‍රයෝජනයට ගැනෙනුයේ ධාරා වර්ධකයක් වශයෙනි. මෙහි දී ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයේ ප්‍රදානය (input) ලෙස කුඩා ධාරාවක් සැපයූ විට වර්ධකයේ ප්‍රතිදානයෙන් (output) විශාල ධාරාවක් ලබා ගත හැකි ය.
11.3 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: 2SD400 (D400) ට්‍රාන්සිස්ටරයක්, 2.5 V විදුලි පන්දම් බල්බ දෙකක්, 3 V සහ 6 V බැටරි කවර දෙකක්, 1.5 V වියළි කෝෂ හයක්, ස්විච්ච දෙකක් (බොත්තම් ස්විච්ච වඩා යෝග්‍ය වේ), 10 kΩ පරිමා පාලකයක් (Volume controller) සහ පරිපථ පුවරුවක්
මෙහි S1 ස්විච්චය, 3 V බැටරිය VR පරිමා පාලකය හා L1 බල්බය, ප්‍රදාන පරිපථයේ ඇති අතර 6 V බැටරිය, S2 ස්විච්චය සහ L2 බල්බය ප්‍රතිදාන පරිපථයේ පිහිටයි. බැටරි නිවැරදි ලෙස සවි කළ යුත්තේ S1 හා S2 ස්විච්ච විවෘතව (off) ඇති විටය. පළමුව S1 සංවෘත (on) කොට L1 බල්බය යන්තමින් දැල්වෙන සේ VRහි ප්‍රතිරෝධය සීරුමාරු කරන්න. පහත වගුවේ දැක්වෙන ආකාරයට S1 හා S2 ස්විච්ච විවෘත සහ සංවෘත කරමින් බල්බවල දීප්තිය නිරීක්ෂණය කොට වගුව පුරවන්න.
රූපයක් එක් කළ යුතුය
| S1 | S2 | L1 බල්බය | L2 බල්බය |
|---|---|---|---|
| විවෘත | විවෘත | නොදැල්වේ | නොදැල්වේ |
| සංවෘත | විවෘත | දැල්වේ, අඩුයි | නොදැල්වේ |
| විවෘත | සංවෘත | නොදැල්වේ | නොදැල්වේ |
| සංවෘත | සංවෘත | දැල්වේ, අඩුයි | දැල්වේ, වැඩියි |
නිගමන
- ප්‍රදාන පරිපථයේ ධාරාවක් ගලන විට පමණක් ප්‍රතිදාන පරිපථයේ ධාරාවක් ගලයි.
- ප්‍රතිදාන පරිපථයට විභව අන්තරයක් සැපයුව ද ප්‍රදානයේ ධාරාවක් නොගලයි නම් ප්‍රතිදානයේ ධාරාවක් නොගලයි.
- ප්‍රදානයේ කුඩා ධාරාවක් ගලන විට (L1 බල්බය අඩු දීප්තියකින් දැල්වෙන විට) ප්‍රතිදානයේ විශාල ධාරාවක් ගලයි (L2 බල්බය වැඩි දීප්තියකින් දැල්වෙයි). ප්‍රදානයේ ධාරාව පාදම ධාරාව IB ලෙස හඳුන්වන අතර ප්‍රතිදානයේ ධාරාව, සංග්‍රාහක ධාරාව IC ලෙස හඳුන්වනු ලැබේ.
ප්‍රදානයේ ගලන IB කුඩා ධාරාවක් ප්‍රතිදානයේ දී විශාල IC ධාරාවක් බවට ට්‍රාන්සිස්ටරය මගින් වර්ධනය කළ හැකි ය. ධාරා වර්ධනය ලෙස හැඳින්වෙන්නේ මෙම ක්‍රියාවයි.