එක් දඟරයක් අනෙක ප්‍රේරණය කිරීම
13.6 ක්‍රියාකාරකම එක් දඟරයක ධාරාවක් අනෙක් දඟරයේ ධාරාවක් ප්‍රේරණය කිරීම පෙන්වයි.
13.6 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: ආමාන 28 පමණ තඹ කම්බි 2 mක් පමණ, මෘදු යකඩ කම්බි මිටියක්, වියළි කෝෂ 2ක්, මැද බින්දු ගැල්වනෝමීටරයක්, ස්විච්චයක්
- මෘදු යකඩ කම්බි මිටිය මත එනමල්වලින් පරිවරණය කළ තඹ කම්බි පොට 100ක් පමණ එක මත එක සිටින සේ ඔතා ගන්න.
- දැන් එම දඟරයට සමාන තවත් දඟරයක් එයට සෙන්ටිමීටරයක් පමණ දුරින් එම කම්බි මිටිය මත ඔතන්න.
- එක් දඟරයකට ස්විච්චයක් සහ 1.5 V වියළි කෝෂ දෙකක් ශ්‍රේණිගත ව සම්බන්ධ කරන්න. අනෙක් දඟරය මැද බින්දු ගැල්වනෝමීටරයකට සවිකරන්න.
- දැන් පළමු දඟරයට සම්බන්ධ S ස්විච්චය සංවෘත කරමින් (ON) සහ විවෘත කරමින් (OFF) ගැල්වනෝමීටරයේ උත්ක්‍රමය නිරීක්ෂණය කර වගුව සම්පූර්ණ කරන්න.
රූපයක් එක් කළ යුතුය
| S ස්විච්චය | ගැල්වනෝමීටර උත්ක්‍රමය | නිගමනය |
|---|---|---|
| සංවෘත කිරීම (ON) | එක් පසකට ක්ෂණික උත්ක්‍රමයක් ඇති වේ | දෙවන පරිපථයේ ධාරාවක් ගලා යයි |
| දිගටම සංවෘත ව ඇත | උත්ක්‍රමයක් නැත | ධාරාවක් නොගලයි |
| විවෘත කිරීම (OFF) | මුල් දිශාවට ප්‍රතිවිරුද්ධව උත්ක්‍රමයක් ඇති වේ | මුල් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාවක් ගලයි |
| දිගටම විවෘත ව ඇත | උත්ක්‍රමයක් නැත | ධාරාවක් නොගලයි |
සිදු වන දේ
- මෙහි පළමු දඟරයේ ධාරාව ගැලීමට පෙර දඟර හරහා චුම්බක ක්ෂේත්‍රයක් නැත. පළමු දඟරයේ ධාරාව ගැලීම ඇරඹෙන විට චුම්බක ක්ෂේත්‍රයක් හටගනී. මෙම චුම්බක ක්ෂේත්‍රය මෘදු යකඩ කම්බි හරහා දෙවන දඟරය තුළින් ද ගමන් කරයි. දෙවන දඟරය හරහා ඇති වන මෙම චුම්බක ක්ෂේත්‍ර වෙනස් වීම නිසා දෙවන දඟරයේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වී ගැල්වනෝමීටරය හරහා ධාරාවක් ගලා එහි උත්ක්‍රමයක් ඇති කරයි.
- පළමු දඟරය තුළ දිගට ම ධාරාව ගලන විට චුම්බක ක්ෂේත්‍රය නියත ව පවතින හෙයින් දෙවන දඟරය හරහා චුම්බක ක්ෂේත්‍ර විචලනයක් නැත. එබැවින් එහි විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය නොවේ. එම නිසා ගැල්වනෝමීටරයේ උත්ක්‍රමය ශුන්‍ය වේ.
- නැවත පළමු පරිපථයේ ස්විච්චය විවෘත කරන විට එහි ගලන ධාරාව නතර වේ. ධාරාව සමගම එමගින් ඇති කරන චුම්බක ක්ෂේත්‍රය ද නැති වී යයි. දෙවන දඟරය හරහා තිබූ චුම්බක ක්ෂේත්‍රය නැති වී යෑම නිසා දෙවන දඟරයේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ. මෙහි දී මුල් දිශාවට ප්‍රතිවිරුද්ධව විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වේ. එම නිසා ගැල්වනෝමීටරය විරුද්ධ දිශාවට උත්ක්‍රමය වේ.
පළමු දඟරය මගින් දෙවන දඟරය හරහා චුම්බක ක්ෂේත්‍ර වෙනසක් ඇති කරන සෑම විටම දෙවන දඟරයේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ. පළමු දඟරයට බැටරියක් වෙනුවට ප්‍රත්‍යාවර්තක විභව අන්තරයක් යෙදුවහොත් එවිට චුම්බක ක්ෂේත්‍රය දිගටම විචලනය වන නිසා දෙවන දඟරයේ ද එවැනිම ප්‍රත්‍යාවර්තක විභව අන්තරයක් ප්‍රේරණය වේ. මෙවැනි චුම්බකව එකිනෙක සම්බන්ධ දඟර දෙකක සම්බන්ධය පරිණාමකයක් ලෙස හැඳින්වේ. පරිණාමක ප්‍රත්‍යාවර්තක ධාරා සහ ප්‍රත්‍යාවර්තක විභව අන්තර සඳහා ද වෙනස් වන සරල ධාරා සඳහා ද ක්‍රියා කරයි. පරිණාමක වෙනස් නොවන (නියත) සරල ධාරා සඳහා ක්‍රියා නොකරයි. පරිණාමකයක් නිරූපණය කිරීම සඳහා භාවිත කරන සංකේතයේ දඟර අතර ඇති ඉරිවලින් නිරූපණය කරනු ලබන්නේ මෘදු යකඩ හරයයි.
රූපයක් එක් කළ යුතුය
ලබා දෙන්නේ වෙනසක් පමණි
පළමු දඟරය ක්‍රියාත්මක හෝ අක්‍රිය කිරීම දෙවැන්නේ ක්ෂණික ධාරාවක් ප්‍රේරණය කරයි; නියත ධාරාවක් කිසිවක් ප්‍රේරණය නොකරයි. ප්‍රත්‍යාවර්ත ධාරාවක් දිගටම ප්‍රේරණය කරයි.